

"මනුෂ්‍ය ජීවිතයේ සියළු අංගයන් කෘතිම බුද්ධිය මගින් සුවිසල් පරිවර්තනයකට ලක් කෙරෙනු ඇත. ඵලදායක ආකරයෙන් ක්‍රියා කරවිය හැකි A.I. තාක්ෂණයක් නිර්මාණය කිරීම මානව ශිෂ්ඨාචාරයේ සුවිශේෂීතම අවස්ථාවක් වනු ඇත. ඒ සුවිශේෂීත්වය හොඳට හෝ නරකට සිදු විය හැකි අතර කෙසේ සිදු වේද යන්න අප තවමත් නොදන්නා කාරණාවකි." ස්ටීවන් හෝකින්ග් මෙසේ පවසා සිටියේ පසුගියදා පෘතුගාලයේ පැවැත්වුනු 2017 වෙබ් සමුළුවේදීයී.
හෝකින්ස් යනු ජීවතුන් අතර සිටින විශිෂ්ඨතම විද්‍යාඥයා නිසා ඔහුගේ ප්‍රකාශ සියළු දෙනාගේම පිළිගැනුමට ලක්වේ. කෘතිම බුද්ධි පරිණාමනයේ ඇති දුර්විපාක පිළිබඳව අනතුරු අඟවන්නේ හෝකින්ස් පමණක් නොවේ. ටෙස්ලා හා ස්පේස්එක්ස් සමාගම් ප්‍රධානී එලෝන් මස්ක් ද මේ පිළිබඳව ප්‍රසිද්ධියේ අනතුරු අඟවා තිබේ. ඔහු සිය ට්විටර් ගිණුමේ ප්‍රකාශ කර ඇති පරිදි "ඔබ A.I. තාක්ෂණය පිළිබඳ සිතා බලා නොමැති නම්, මේ එයට කාලයයි. කුමක් නිසා ද යත්, එය උතුරු කොරියානු න්‍යෂ්ඨික මිසයිලයකට වඩා භයානක වන නිසාවෙනි." යන වදන් වලින් එය තේරුම් ගත හැකියි.
කෘතිම බුද්ධිය ගෝනි බිල්ලෙක් ලෙස හුවා පෑමක් හෝකින්ග් සිදු නොකරයි. එය ඇත්ත වශයෙන්ම මාහැඟි තාක්ෂණයක් බවත්, සිතා ගත නොහැකි තරමේ ආශ්චර්යවත් කාර්යයක් රැසක් A.I. තාක්ෂණය ආධාරයෙන් සිදු කර ගත හැකි බවත් හෝකින්ග් පිළිගනී. නමුත් ඔහු බල කර සිටින කාරණය වන්නේ කෘතිම බුද්ධිය හසුරුවන දිශානතිය පිළිබඳව තීන්දු තීරණ ගැනීමට මිනිසාගේ වාරය දැන් එළඹ ඇති බවයි. අප තවත් ප්‍රමාද වීමෙන් A.I. තාක්ෂණය හැසිරවීමේ අවස්ථාව මිනිසාගෙන් ගිලිහී යනු ඇති බවට ඔහු අනතුරු අඟවා සිටී. තාක්ෂණය හැසිරවිය යුතු ආකාරය ගැන නිශ්චිත අවබෝධයකින් තොරව කෘතිම බුද්ධිය දියුණු කරවීම ඉතා අන්තරාදායක ක්‍රියාවක් වනු ඇත.

හැසිරවීමකින් හා නියාමනයකින් තොරව කෘතිම බුද්ධි පර්යේෂණ සිදු කිරීම හා එය දියුණු කරවීම මිනිස් වර්ගයාගේ අවසානය දක්වා දුරදිග යන්නක් බව හෝකින්ග් ගේ අදහසයි. අවි ආයුධ පාලනය සියතට ගැනීම, ආර්ථිකය අස්ථාවර කිරීම, මිනිස් ශ්‍රම අවස්ථා උදුරා ගැනීම ආදී දරුණු දුර්විපාක නිසි ලෙස කළමණාකරනය නොකරන ලද කෘතිම බුද්ධි වැඩසටහකින් ඔබ බලාපොරොත්තු විය යුතුයි. සමහර විටෙක මේ සියල්ල ඉක්මවා යන අප නොසිතන, අපට සිතා ගත නොහැකි තරමේ අති සුපිරි ආකාරයකින් වුවත් මිනිසා අභිබවා යෑමේ හැකියාවක් අනාගතයේදී කෘතිම බුද්ධියට නොලැබෙනු ඇතැයි කෙසේ කිව හැකිද ?
0 comments: