මයික්‍රොසොෆ්ට් සමාගම යනු මෘදුකාංග නිර්මාණ ආයතනයක් පමණක්ම නොවේ. ඔවුන් විසින් කලින් කලට අපූරු තාක්ෂණික උපාංගයන් ද නිෂ්පාදනය කරනු ලබයි. ඒවායින් සුප්‍රසිද්ධම උපාංගය වන්නේ Xbox වීඩියෝ කන්සෝලයයි. පසුගියදා ඔවුන් සිය නවතම නිර්මාණය වෙළඳපොලට හඳුන්වා දෙනු ලැබුවා. එය මොඩර්න් කීබෝඩ් (Modern Keyboard) ලෙසින් හඳුන්වා දී ඇති අතර මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම නවතම යතුරු පුවරුවට ඇඟිලි සළකුණු හඳුනාගත හැකි Fingerprint Sensor එකක් ඇතුළත් කර තිබීමයි.
මෙම ඇඟිලි සළකුණු සංවේදකය බැලු බැල්මට නොපෙන්නේ එය තවත් එක් key එකක් ආකාරයෙන් නිර්මාණය කර තිබීම නිසායි. Alt, Ctrl, Shift යතුරු තුනට මැදිවන ලෙස, තවත් එක් අතිරේක key එකක් ලෙසින් මෙම Fingerprint Sensor එක ස්ථානගත කර තිබේ. යතුරු පුවරුවේ අනෙකුත් ඕනෑම යතුරක් ඔබන ආකාරයෙන් මෙයද ඔබට press කළ හැකියි. එවිට ඔබ රහස් පද (Password) ඇතුලත් කරන ඕනෑම තැනකදී මෙම තනි key එක එබීම පමණක් සෑහේ. මේ නිසා රහස් පද මතක තබා ගැනීම හා ඒවා එකින් එක ටයිප් කිරීම යන කරදරයෙන් මිදී ක්ෂණිකව හා ආරක්ෂාකාරීව පරිගණක දත්ත අගුලු දැමීමට හා ඇරීමට ඔබට හැකියාව ලැබේ.
Modern Keyboard එක හැඩයෙන් ඉතා සිහින් වුවත්, ශක්තිමත් ආකාරයෙන් නිමවා ඇති බව පෙනේ. මෙය අවශ්‍ය නම් USB කේබලයක් මගින් පරිගණකය හා සම්බන්ධ කළ හැකි නමුත්, බ්ලූටූත් ආකාරයට (Bluetooth LE) රැහැන් රහිතව හා දුරස්ථව භාවිතා කළ හැකිවීම විශේෂත්වයකි. මේ ආකාරයෙන් රැහැන් රහිතව වැඩ කිරීමේදී Modern Keyboard හි බැටරිය මාස 04 ක් පමණ කාලයක් භාවිතා කළ හැකි බව මයික්‍රොසොෆ්ට් සමාගම පවසා සිටී. මෙය රැහැන් රහිතව අඩි 17 ක (5 m) දුරක් සඳහා සහාය දක්වයි. මෙවැනි විශේෂාංග වලින් යුතු වුවත්, Modern Keyboard එකෙහි ඇති එක් අවාසියක් වන්නේ මෙය දැනට සහාය දක්වන්නේ වින්ඩෝස් 10 සඳහා පමණක් වීමයි. Mac, iOS හා Android පරිශීලයන් මෙන්ම පැරණි වින්ඩෝස් සංස්කරණ භාවිතා කරන පරිශීලකයන්ට Modern Keyboard එක අත් විඳින්නට ඇති අවස්ථාව මේ නිසා අහිමි වී යයි.
මයික්‍රොසොෆ්ට් සමාගම විසින් තවමත් මෙය නිකුත් කරන දිනය ගැන සඳහන් කර නොමැත. කෙසේ වුවත් මෙහි මිළ ඇමෙරිකාන් ඩොලර් 129.99 ක් (ආසන්න වශයෙන් රුපියල් 20,000/- ක් !!!) ලෙසින් දක්වා තිබේ. Modern Keyboard පිළිබඳ විස්තර ඔබට පහත වීඩියෝවෙන් නැරඹිය හැකියි...
0 comments: