හොන්ඩා සමාගමේ අනාගත විදුලි කාර් රථය (Honda Sports EV)

 

යිබ්‍රිඩ් හෙවත් දෙමුහුම් රථ වාහන ගැන කථා කරද්දී, හොන්ඩා සමාගමේ නමත් එතැන කියවෙන නමුත්, ඔවුන් එම ක්ෂේත්‍රයේ හොඳ නමක් අත් කරගෙන ඇති බවක් නම් පැවසිය නොහැකියි. Honda Accord, Civic Hybrid, CR-Z හා Insight වැනි හයිබ්‍රිඩ් වාහන හොන්ඩා සමාගමෙන් එළි දක්වා ඇති අතර ඒවා හයිබ්‍රිඩ් වෙළඳපොලේ උසස්ම මට්ටමේ නිෂ්පාදන ලෙසින් නොසැලකේ. කෙසේ වෙතත් හයිබ්‍රිඩ් වාහන වලින් යම් පසුබැස්මක් ලැබුවත්, හොන්ඩා සමාගම රථ වාහන ක්ෂේත්‍රයේ නව ඉසව් සොයා යන ගමන නම් නතර කර නැති බව පෙනේ. පසුගිය දා ටෝකියෝ මෝටර් ප්‍රදර්ශණයේදී ඔවුන් විසින් එළි දක්වන්නට යෙදුණු Sports මාදිලියේ විදුලි වාහනය හොන්ඩා සමාගමේ අනාගත අභිප්‍රායයන් මැනැවින් පෙන්නුම් කරයි.

මෙම නව වාහන මාදිලිය නවතම නිර්මාණ සංකල්පයන් අනුව නිර්මාණය වී තිබේ. හොන්ඩා හි පෙර වාහන මාදිලින් හි අන්තර්ගත වූ නිමාවන් සමග අලුත්ම සංකල්පයන් මුසු කරමින් මෙය නිර්මාණය වී ඇති බව පෙනේ. නිමාව සහ පෙනුම අනුව පෙනී යන්නේ මෙය rear-wheel drive හෙවත් පසුපස රෝද මගින් ධාවනය වන රථයක් බවයි. හොන්ඩා සමාගම පවසන්නේ මෙහි සුමුදු ධාවනයක් හා විශිෂ්ඨ හැසිරවීමක් අපේක්ෂා කළ හැකි බවයි.

හොන්ඩා හි නව Sports EV මාදිලියට කෘතිම බුද්ධි සහායත් ඇතුළත් කර තිබේ. මෙය Honda Automated Network Assistant ලෙස හඳුන්වයි. රියදුරු හා රථය වඩාත් හොඳින් එකමුතු කරන සම්බන්ධතාවයක් මෙම රථය මගින් ඇති කරවන බව හොන්ඩා සමාගමේ අදහසයි. මෙම කෘතිම බුද්ධි සහාය කුමන් මට්ටමක් දක්වා ද යන්න තවම විස්තර කොට නැතිමුත්, එය අර්ධ හෝ සම්පූර්ණ ස්වයංක්‍රීය ධාවනයක් දක්වා යන පද්ධතියක් ද විය හැකියි. නැතහොත් පදවන්නාගේ කැමැත්ත අනුව හැඩ ගැසෙන ධාවන පද්ධතියක් ද විය හැකියි.

හොන්ඩා සමාගමෙන් වැඩි විස්තර ඉදිරිපත් කර නැතිමුත්, මෙම නව විදුලි රථය 2020 පමණ වන විට නිෂ්පාදනය කරන්නට හැකි වනු ඇතැයි පැවසේ. රථ වාහන තාක්ෂණයේ අනාගතය වන විදුලි රථ කෙරෙහි හොන්ඩා වැනි දැවැන්ත රථ වාහන නිෂ්පාදන සමාගම් හි අවධානය යොමු වීම අනාගතය කෙරෙහි සුභවාදී බලාපොරොත්තු ඇති කරන බව පැවසිය හැකියි...


0 comments: