Chrome වලට වඩා හොඳයි කියන - ෆයර්ෆොක්ස් අළුත් එක...


වේගවත් අන්තර්ජාල අත්දැකීමක් ලබාදීම සඳහා දැන් ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රවුසරයේ නවතම සංස්කරණය නිකුත් වී තිබේ. මොසිල්ලා සමාගම පවසන්නේ නවතම Firefox 54 සංස්කරණය ක්‍රෝම් බ්‍රවුසරයට වඩා වේගවත් වන බවයි. මෙහි ඇති ප්‍රධානම වැඩිදියුණු කිරීම ලෙස දක්වන්නේ අඩු RAM මතක ප්‍රමාණයක් භාවිතා කිරීම හා ටැබ් අතර මාරු වීමේදී සුමටව ක්‍රියා කිරීමේ හැකියාවයි.

multiprocess හෙවත් එකවර ටැබ් කීපයක් නිසි ලෙස කළමණාකරණය කරගැනීමේ තාක්ෂණය වැඩි දියුණු කිරීමේන් Firefox 54 වේගවත් කර තිබේ. පරිගණක පද්ධතිය සතු RAM හා Processor ඇතුළු පරිගණක සම්පත් නිසි ලෙස හැසිරවීමට මෙම නව ෆයර්ෆොක්ස් සංස්කරණය සමත් වේ. මෙමගින් එක් ටැබ් එකක් අක්‍රිය වුවත්, අනෙක් ටැබ් වලට බලපෑමක් ඇති නොවේ. ඔබ එක් ටැබ් එකක  Facebook වැනි තරමක් විශාල වෙබ් පිටුවක් ප්‍රවේශ කර ඇත්නම්, බොහෝ විට අනෙකුත් ටැබ් වලට ද එය අහිතකර ලෙසින් බලපෑම් කරයි. නමුත් Firefox 54 හිදී එක් ටැබ් එකක බරපතල වෙබ් පිටුවක් තිබුනත් එය අනෙකුත් ටැබ් වලට බලපෑමක් නොකරයි. වේගවත් ලෙසින් ධාවනය වීම හා අතරමග දී හදිසියේ crash වීම් අවම කර තිබීම හැරුණු කොට, වෙබ් පිටු සුමටව හැසිරවීමට ද නව ෆයර්ෆොක්ස් සංස්කරණය සමත්ය. මේ නිසා ෆේස්බුක් Newsfeed වැනි වෙබ් අඩවි වලදී පවා බ්‍රවුසරය මනා ලෙසින් පාලනය කළ හැකියි.

ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රවුසරය පහසුකම් අතින් හා වේගය අතින් හොඳ වුවත්, එය අති දැවැන්ත ලෙසින් RAM මතකය කා දමන බව ඔබ හොඳින් දන්නවා ඇති. එයට ප්‍රධානතම හේතුව වන්නේ ක්‍රෝම් හි එක් ටැබ් එකක් එක් processes එකක් ලෙසින් හැසිරීමයි. මෙහිදී ටැබ් ගණන වැඩි වන විට processes ගණනද වැඩි වේ. එක්
processes එකකට 100MB පමණ මතකයක් වැය වේ. නමුත් Firefox 54 සංස්කරණයේදී සියළුම ටැබ් සඳහා ලබදෙන්නේ processes 04 ක් පමණි. මේ නිසා වැඩි RAM ප්‍රමාණයක් වැය වීම නතර කර තිබේ. මොසිල්ලා සමාගම දක්වා ඇති පරිදි ෆයර්ෆොක්ස් නවතම සංස්කරණය වින්ඩෝස් 10 පරිගණකය දී  භාවිතා කරන්නේ Chrome බ්‍රවුසරය භාවිතා කරන RAM ප්‍රමාණය මෙන් භාගයක් පමණි.

ඔබත් ගූගල් ක්‍රෝම් භාවිතා කරන අයෙක් ද ? එසේ නම් පරිගණකය මන්දගාමී වීම හා පරිගණක මතකය කා දැමීම යන කාරණා නිසා ක්‍රෝම් එපා වෙලා ද ? වෙනසකටත් එක්ක ෆයර්ෆොක්ස් අළුත් එකට මාරුවෙලා බලමු ද ?

0 comments: