Google Pixel 2 අළුත්ම උපාංගයන් ගැන තොරතුරු හෙළිවේ...

 

ගූගල් සමාගමේ ජනප්‍රියතම දුරකථන නිෂ්පාදනයක් වන ගූගල් පික්සල් (Google Pixel) උපාංගයේ දෙවැනි සංස්කරණය වශයෙන් Google Pixel 2 මේ වසර අවසාන භාගයේදී නිකුත් කිරීමට නියමිතව ඇත. ගූගල් සමාගම විසින් මේ සම්බන්ධයෙන් විශේෂයෙන් සඳහන් කර නැතත්, අන්තර්ජාලයේ පළවී ඇති යම් යම් තොරතුරු අනුව Google Pixel 2 සම්බන්ධ ඉඟි කීපයක් දැන ගන්නට ලැබී තිබේ. මේ අනුව HTC සමාගම විසින් Pixel 2 හා Pixel XL 2 උපාංගයන් නිෂ්පාදනය කරනු ඇත. පසුගිය වසරේ එළි දැක්වුනු පෙරළිකාර Pixel උපාංගයන් ද නිෂ්පාදනය කරන ලද්දේ HTC සමාගම විසිනි.

අන්තර්ජාල තොරතුරු හා නිෂ්පාදන සමාගම් වල අභ්‍යන්තර තොරතුරු ඔස්සේ ඔත්තු සොයා යන ඉඟි සපයන්නන් විසින් අදාල දත්ත ගබඩා වල ඇති S2 හා M2 යන නමින් හඳුන්වන උපාංග දෙකකට අදාල දත්ත සොයාගෙන ඇත. මේවා Pixel 2 හා Pixel XL 2 උපාංගයන් සඳහා අදාල කේත නාම ලෙස සැක කර ඇත. පෙර නිකුත් වූ Pixel පළමු සංස්කරණය සඳහා මේ කේත නාම දැක්වුනේ S1 හා M1 ලෙසින් වන බැවින් මේ උපකල්පනය සාධාරණ බව පෙනී යයි.


අළුත් පික්සල් උපාංගයන් සඳහා Qualcomm Snapdragon 835 චිප් එක යොදා ගනු ඇති බව සඳහන් වේ. මේ ආරංචි මාර්ග වලට අනුව Pixel XL 2 උපාංගයේ අඟල් 5.6 ක තිරයක් ඇති බව පෙනී යයි. එහි තිර විභේදනය පික්සල් 2560x1312 කි. එසේම Pixel XL 2 උපාංගයේ 4GB Ram මතකයක් අඩංගු වනු ඇතැයි පැවසේ.

තවත් ආරංචි මාර්ගයකින් පැවසුනේ ගූගල් සමාගම විසින් මෙවර වෙනස් මාදිලි වලින් පික්සල් උපාංග තුනක් නිකුත් කරන්නට සැලසුම් කර ඇති බවයි. එහිදී උපාංග දෙකක් HTC සමාගම විසින් ද, අනෙක LG සමාගම විසින් ද නිපදවනු ඇතැයි පැවසේ. කෙසේ වෙතත් මෙහි සත්‍ය අසත්‍යභාවය ගැන නම් සහතික විය නොහැකියි. ගූගල් සමාගමේ ප්‍රකාශකයෙක් මාර්තු මාසයේ දී පවසා සිටියේ 2017 වසර අවසාන භාගයේ දී නවතම ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය වන Android O සමගින් පික්සල් උපාංගයන් හි නව සංස්කරණයන් ද නිකුත් කරන්නට අදහස් කරන බවයි...

0 comments: