ප්‍රොසෙසර යුද්ධය දැන් දරුණු අතට හැරෙන ලකුණු...

 
ප්‍රොසෙසර යුද්ධය ලෙසින් හැඳින්වෙන්නේ ප්‍රොසෙසර චිප් නිෂ්පාදනය කරන ප්‍රමුඛතම සමාගම් දෙක වන Intel හා AMD සමාගම් අතර ඇති වෙළඳපොල තරඟයටයි. පුද්ගල පරිගණක සඳහා මයික්‍රො ප්‍රොසෙසර නිපදවන ආයතන අතරින් නිතරඟයෙන්ම පළමු තැන හිමිව ඇත්තේ ඉන්ටෙල් සමාගම හටයි. නමුත් දැන් දැන් පෙනෙන්නට ඇති කරුණ වන්නේ මේ ක්ෂේත්‍රයේ කිරුළ හිමි ඉන්ටෙල් හට සිය මුල් තැන රැක ගැනීම සඳහා AMD සමාගම සමග තරඟ කරන්නට සිදුව ඇති බවයි. ඊට හේතුව වන්නේ මෑත කාලීනව AMD සමාගම ප්‍රොසෙසර නිර්මාණය අතින් ඉන්ටෙල් හා කරට කර යන තරමේ දියුණුවකට පැමිණ තිබීමයි.

මේ අවුරුද්දේ මුල් කාර්තුවේ දී AMD සමාගම තමන්ගේ නවතම සුපිරි ප්‍රොසෙසරය Ryzen (රයිසන්) නමින් නිකුත් කළ අතර, එ් වෙද්දී වෙළඳපොලට නිකුත් කර තිබුණු ඩෙස්ක්ටොප් වර්ගයේ කිසිදු ඉන්ටෙල් ප්‍රොසෙසරයකට Ryzen සමග තරඟ කළ නොහැකි විය. එතෙක් කල් සටනක් නැතිව රජ වූ ඉන්ටෙල් සමාගමට AMD සමාගම විසින් Ryzen ප්‍රොසෙසරය නිකුත් කිරීමත් සමග නැවතත් කිරුළ සඳහා තරඟ වදින්නට සිදුවිය. Ryzen ප්‍රොසෙසරය ඉතා අනර්ඝ තත්ත්වයේ ප්‍රොසෙසරයක් ලෙසින් ක්ෂේත්‍රයේ අගය කිරීමට ලක්වූ අතර, AMD නිෂ්පාදන නාමය කෙරෙහි තරමක අඩු අගයක පැවතුනු වෙළඳපොල පිළිගැනීම යලිත් වරක් ඉහළටම ඔසවා තබන්නට Ryzen සමත් වීම කැපී පෙනේ.


Ryzen හි සාර්ථකත්වයත් සමගම ඉන්ටෙල් සමාගම වහාම ක්‍රියාත්මක වන්නට විය. ඔවුන් විසින් Ryzen හා තරඟයට නවතම ප්‍රොසෙසර කාණ්ඩයක් ඉදිරිපත් කරන ලදී. පසුගිය මාසයේ නිකුත් කළ Intel Core X මාදිලියේ ප්‍රොසෙසර පෙළ සමගින් ඉන්ටෙල් සමාගම නැවතත් සිය මුල් තැන ලබා ගත් අයුරු අපට දක්නට ලැබිණි. කෙසේ වෙතත් මිළ අනුව සැසඳීමේදී නම්, නැතහොත් ගෙවන මිලට ලැබෙන අගය අනුව Core X වලට වඩා Ryzen ඉදිරියෙන් සිටින බව පෙනෙන්නට තිබේ.

AMD විසින් Ryzen නිකුත් කළ විට, ඒ හා තරඟයක් දෙන්නට Core X ප්‍රොසෙසර සූදානම් ව තිබීම ඉන්ටෙල් හි වාසියට වූ දෙයකි. එසේ නොවූවා නම්, Ryzen විසින් ප්‍රොසෙසර ක්ෂේත්‍රයේ සෑහෙන වෙනසක් සිදු කරන්නට තිබිණි. ඉන්ටෙල් සමාගම යාන්තම් ජාමෙ බේරාගත් බව මෙහිදී පැහැදිලිව පෙනෙන සත්‍යයකි. කෙසේ වුවත් AMD වෙතින් කරට කර සටනක් ලැබෙන නිසා දැන් ඉන්ටෙල් සමාගම සිය සැලසුම් වෙනස් කර ඇති බව පෙනෙන්නට තිබේ. ඊලඟ පරපුරේ core ප්‍රොසෙසර නිෂ්පාදනය සඳහා දැන් ඉන්ටෙල් සමාගම කටයුතු කරගෙන යන බව අසන්නට ලැබේ. මීලඟ දශකයේ එළි දකින නවතම උපාංග සඳහා පෙරළිකාර නව ප්‍රොසෙසරයක් ඉන්ටෙල් නාමය යටතේ එළි දැක්වීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

මේ අවස්ථාව වන විට බොහෝ කාලයකට පසු ප්‍රොසෙසර වෙළඳපොල යලිත් උණුසුම් ව තිබේ. මේ තරඟය පාරිභෝගිකයන් වශයෙන් අපට නම් ඉතා වාසිදායක බව නම් කිව යුතුය. ඉන්ටෙල් සමාගම විසින් පෙරළිකාර ප්‍රොසෙසරයක් නිපදවන්නට සැලසුම් කරද්දී, AMD සමාගම ඔවුන්ගේ Zen ආකෘතිය යටතේ වන දෙවැනි ප්‍රොසෙසර සංස්කරණය නිපදවමින් සිටී. මේ සියල්ල සැලකීමේදී ප්‍රොසෙසර ක්ෂේත්‍රයේ ඉදිරි කාලය ඉතා ආකර්ශණීය වනු ඇතැයි යන්න අපේ බලාපොරොත්තුවයි...

0 comments: