Uber සමාගමේ ප්‍රධාන විධායක නිළධාරියා ඉල්ලා අස්වෙයි...


මාස ගණනාවක් තිස්සේ තිබුණු අර්බුධකාරී තත්ත්වය අවසන් කරමින්, අවසානයේදී ඌබර් (Uber) සමාගමේ ප්‍රධාන විධායක නිළධාරියා වන ට්‍රැවිස් කැලැනිච් එම තනතුරෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ. ඌබර් ටැක්සි සේවාව මොබයිල් පාදක කරගත් ලොව ප්‍රමුඛතම කුලී රථ සේවාවයි.  වර්තමාන ලෝකයේ ප්‍රමුඛතම තාක්ෂණික සේවා සමාගමක් ලෙස පෙරට පැමිණි Uber සමාගමේ මේ අර්බුධය එහි අනාගතයට අහිතකර ලෙස බලපානු ඇති දැයි විචාරකයින් සැක පළ කරයි.

ට්‍රැවිස් කැලැනිච් හා  Uber සමාගමේ නිළධාරින් අතර කලක පටන්ම මත ගැටුම් පැවතිණි. ඔහු පසුගිය සතියේ සිට නිවාඩු ලබා සිටියේ සිය මව හදිසියේම බෝට්ටු අනතුරකින් ජීවිතක්ෂයට පත්වීම නිසායි. Uber හවුල්කාර කොටස් හිමියන් ට්‍රැවිස් ගේ පාලනය පිළිබඳ නොසතුටින් සිටි අතර ඔහුට ප්‍රධාන විධායක නිළධාරි ධූරයෙන් ඉවත් වීමට බලපෑම් කළ නමුත් ට්‍රැවිස් ඒ සඳහා දැක්වූයේ සතුටුදායක ප්‍රතිචාරයක් නොවේ. කෙසේ වෙතත් අවසානයේදී අධ්‍යක්ෂක මණ්ඩලයේ කැමැත්තට ඉඩ දී ඔහු ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. ඔහු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙක් ලෙස තව දුරටත් රැඳී සිටින බව Uber සමාගම විසින් ප්‍රකාශ කර තිබේ.


"මගේ ජීවිතයේ අන් කිසිදු දෙයකට වඩා මම Uber සමාගමට ආදරෙයි... මම දැන් පසුවන අසීරු අවස්ථාවේ දී වුවත් ආයෝජකයින්ගේ ඉල්ලීම පරිදි මම තනතුරින් ඉල්ලා අස්වන්නේ සමාගමේ අනාගතය සලකා බලමින්... අරගල මැද සිටිනවාට වඩා මෙම තීරණය සමාගම පැත්තෙන් යහපත් එකක් වේවි... " යැයි ට්‍රැවිස් කැලැනිච් පවසා තිබිණි.

Uber සමාගම මේ පසුගිය වසර 08 ක පමණ කාලය තුල දී දැවැන්ත සමාගමක් ලෙසින් ඉදිරියට පැමිණි අතර එහි වෙළඳපොල වටිනාකම ඩොලර් බිලියන 14 කට අධික වේ. ප්‍රවාහන ක්ෂේත්‍රයේ තවත් දැවැන්ත නවීකරණයන් සඳහා ඔවුන් මේ වන විටත් සැලසුම් කරමින් සිටී. ඒ අතරින් ස්වයංක්‍රීයව ධාවනය වන කාර් රථ ටැක්සි සේවාවන් ආරම්භ කිරීමේ පර්යේෂණ මේ වන විටත් සිදු වෙමින් පවතී...

0 comments: