
ඇන්ඩ්‍රොයිඩ් ජංගම මෙහෙයුම් පද්ධතියේ 7.0 වැනි සංස්කරණය ලෙසින් Android 7 Nougat (නෝගට්) මෙහෙයුම් පද්ධතිය එළි දකින්නේ වසරකට පමණ පෙරයි. එසේ ගතවුනු වසරක කාලය තුළ දී විවිධාකාරයේ නවතම ජංගම උපාංග රාශියක් ඇන්ඩ්‍රොයිඩ් නෝගට් සමගින් එළි දැක්විණි. ඒ අතර Galaxy S8 හා LG G6 වැනි ඉහළ කාණ්ඩයේ උපාංගයන් ද වේ. ඇන්ඩ්‍රොයිඩ් යනු ලෝකයේ ජනප්‍රියතම හා වැඩියෙන්ම භාවිතා වන මෙහෙයුම් පද්ධිතය බව සැබෑ නමුත්, ඇන්ඩ්‍රොයිඩ් හි නවතම සංස්කරණය තවමත් රස විඳින්නේ ඉතා අඩු පරිශීලකයින් ප්‍රමාණයක් පමණි.

ඇන්ඩ්‍රොයිඩ් හි විවිධ මෙහෙයුම් පද්ධති සංස්කරණ වල භාවිත ප්‍රතිශතයන් හි නවතම දත්තයන් ගූගල් සමාගම විසින් පසුගියදා නිකුත් කරන්නට යෙදිණි. එහිදී පෙනී ගිය කරුණක් වන්නේ ඇන්ඩ්‍රොයිඩ් හි නවතම සංස්කරණය භාවිතා කරන්නේ ඇන්ඩ්‍රොයිඩ් පරිශීලකයින් ගෙන් 13.5% ක් පමණක් බවයි. ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරන සියළුම උපාංගයන් හි වැඩිම ප්‍රතිශතයකට හිමිකම් කියන්නේ Marshmallow (මාෂ්මෙලෝ) සංස්කරණයයි. එය ප්‍රතිශතයක් ලෙසින් 32.3% කි. Lollipop (ලොලිපොප්) සංස්කරණය ද 29.2% ප්‍රතිශතයකට හිමිකම් කියයි. මෙම දත්තයන් අනුව පෙනෙන්නට ඇති අපූරු කරුණක් වන්නේ, වසර 04 කට පෙර නිකුත් කරන ලද පැරණි ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයක් වන KitKat (කිට්කැට්) සංස්කරණය භාවිතා කරන පරිශීලක ප්‍රමාණය නවතම සංස්කරණය වන Nougat (නෝගට්) වලට වඩා වැඩි වීමයි. KitKat (කිට්කැට්) හි භාවිත ප්‍රතිශතය 16% කි.
Nougat (නෝගට්) සංස්කරණයට පෙර පැමිණි Marshmallow (මාෂ්මෙලෝ) හා සැසඳීමේ දී නෝගට් සිටින්නේ ඉතා පසුගාමී තැනක බව පෙනී යයි. පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී, එනම් නෝගට් සංස්කරණය එළි දක්වන අවධියේ දී, එවකට තිබුණු නවතම මෙහෙයුම් පද්ධතිය ලෙසින් මාෂ්මෙලෝ සංස්කරණයට 15.2% ක ප්‍රතිශතයක් හිමිව පැවතිණි. වසරකට පසු තවමත් නෝගට් හිමි කර ගෙන ඇත්තේ 13.5% ක් පමණි.

ඇපල් උපාංග හා සැසඳීමේදී iOS හි නවතම සංස්කරණයන් බහුතර උපාංග ප්‍රමාණයක් භාවිතා වන බව පෙනී යයි. නවතම iOS සංස්කරණය වන iOS 10 සංස්කරණය ඇපල් උපාංග 87% ක ධාවනය වේ. ඇන්ඩ්‍රොයිඩ් හා සැසඳීමේ දී ඇපල් උපාංග සඳහා නිතරම නවතම මෙහෙයුම් පද්ධති සංස්කරණය ලැබෙන බව නිරන්තරයෙන් පෙනී යන කරුණකි. ඒ සඳහා හේතුව වන්නේ ඇපල් උපාංගයන් හි දෘඩාංග හා මෘදුකාංග යන අංශ දෙකම ඇපල් ආයතනය විසින් පාලනය කිරීමයි. නමුත් ඇන්ඩ්‍රොයිඩ් හි මෘදුකාංග අංශය ගූගල් සමාගම මෙහෙයවූවත්, දෘඩාංග - එනම් ඇන්ඩ්‍රොයිඩ් උපාංග නිෂ්පාදනය කරන්නේ විවිධාකාර සමාගම් විසිනි. මේ සමාගම් විසින් සිය උපාංගයන් වෙත නවතම ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය ලබා දෙන්නේ බොහෝ ප්‍රමාද වී බව පෙනීයයි. මේ නිසා ඇන්ඩ්‍රොයිඩ් උපාංගයන් හි භාවිතා වෙනස් වෙනස් සංස්කරණයි.
ඇන්ඩ්‍රොයිඩ් හි නවතම සංස්කරණය වන Android O ලඟදීම නිකුත් වන්නට නියමිතයි. ඒ මෙහෙයුම් පද්ධති සංස්කරණයටත් පෙර කරුමයම උරුම නොවන්නට නම් ගූගල් සමාගමට නවතම මාර්ගයක් පාදා ගත යුතුව තිබේ...
අපිට නොගට් ස්තපනය කරගන්න පුලුවන්ද එ කොහොමද
ReplyDelete