වරක් පාවිච්චි කරන ලද ඩ්‍රැගන් කැප්සියුලයක් නැවතත් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට...



   
SpaceX (ස්පේස් එක්ස්) ආයතනය යනු ඇමෙරිකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අභ්‍යවකාශ ආයතනයි. ඔවුන්ගේ ෆෝල්කන් රොකට් පද්ධතිය සහ ඩ්‍රැගන් කැප්සියුලය 2012 වසරේ සිටම අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ සැපයුම් මෙහෙයුම් සිදු කරයි. පසුගිය මස අවසාන භාගයේ තවත් එවැනි භාණ්ඩ සැපයුම් මෙහෙයුමක් SpaceX සමාගම විසින් දියත් කරන ලද අතර, මෙය SpaceX ආයතනය නාසා ආයතනය හා එක්ව සිදුකරන ලද 11 වැනි සැපයුම් මෙහෙයුම ලෙස සඳහන් වේ.




SpaceX සමාගමට මේ නවතම මෙහෙයුම විශේෂ වැදගත් භාවයක් උසුලයි. එයට හේතුව වන්නේ මෙවර සැපයුම් රැගෙන යාම සඳහා යොදාගත්තේ මීට පෙරත් 2014 සැප්තැම්බර් මාසයේදී මෙවැනිම මෙහෙයුමකට යොදා ගෙන, පසුව නැවතත් අළුත්වැඩියා කොට නවීකරණය කරන ලද ඩ්‍රැගන් කැප්සියුලයක් වීමයි.

ඩ්‍රැගන් කැප්සියුලය සාර්ථකව අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය කරා ලඟා වූ බව නාසා ආයතනය ප්‍රකාශ කර ඇත. අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ, පෘථිවිය දෙසට මුහුණ ලා ඇති Harmony (හාමනි) නම් මොඩියුලය වෙත ඩ්‍රැගන් කැප්සියුලය ඈඳන ලද්දේ එහි ඇති රොබෝ යාන්ත්‍රික අත උපයෝගී කර ගනිමිනි. මෙම සැපයුම් මෙහෙයුම සඳහා ඩ්‍රැගන් කැප්සියුලය මගින් කිලෝග්‍රෑම් 2721 ක භාණ්ඩ අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබේ.




මාසයක පමණ කාලයක් ඩ්‍රැගන් කැප්සියුලය අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා සම්බන්ධ කොට තැබේ. පසුව මධ්‍යස්ථානයෙන් ඉවත ලන සහ අවශ්‍ය නැති උපාංග රැගෙන මෙම කැප්සියුලය නැවත පෘථිවිය වෙත පැසිෆික් සාගරය වෙත පතිත වීමට නියමිතයි.

වරක් භාවිතා කරන ලද කැප්සියුලයක් නැවත නැවත වරක් අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා භාවිතා වූයේ පළමු වරට වීම මෙහි ඇති සුවිශේෂී භාවයයි. SpaceX සමාගම ඔවුන්ගේ රොකට් පද්ධතිය ද වරක් භාවිතා කළ පසු නැවත භාවිතා කළ හැකි ආකාරයට නිර්මාණය කර සාර්ථකව අත්හදා බලා ඇති අතර මෙ වනවිටත් එම ක්‍රමය සාර්ථකව යොදා ගනී. එමගින් වරක් භාවිතා කරන ලද රොකට් එන්ජින් නැවත් නැවතත් මෙහෙයුම් සඳහා යොදා ගනිමින් පිරිවැය අඩු කර ගැනීමට ඔවුන්ට හැකි වී ඇත. දැන් මේ නවතම සැපයුම් මෙහෙයුම සමගින් ඩ්‍රැගන් කැප්සියුලය ද නැවත නැවතත් භාවිතා කළ හැකි බව ඔප්පු වී තිබේ.

SpaceX සමාගමේ නිර්මාතෘ මෙන්ම ප්‍රධානියා ද වන එලෝන් මස්ක් ප්‍රකාශ කර සිටියේ, අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ දී ද, නැවත් නැවතත් එකම උපාංගය භාවිතා කිරීම සාමාන්‍යකරණය කරන්නට හැකි වීම සමාගමක් ලෙස ඔවුන් ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බවයි...

0 comments: