අළුත් ගේම් කොන්සෝල් වලින් වැඩිය හොඳ Xbox ද, PS4 ද ?



වීඩියෝ ක්‍රීඩා ගැන කථා කරද්දී, ගේම් කොන්සෝල් වලට හිමි වෙන්නේ ප්‍රධාන තැනක්. වීඩියෝ ක්‍රීඩාවක යෙදෙද්දී එහි උපරිම අත්දැකීම ලබා ගන්න නම් ගේම් කොන්සෝල් එකකින්ම ගේම් ගහන්න ඕනේ. දැනට එළි දක්වලා තියෙන හොඳම ගේම් කොන්සෝල් දෙක වෙන්නේ මයික්‍රොසොෆ්ට් සමාගමේ Xbox හා සෝනි සමාගමේ Play Station යන කොන්සෝල් දෙකයි. මේ ගේම් කොන්සෝල් දෙකේම නවතම සංස්කරණයන් පසුගිය මාස කිහිපයක කාලයේ දී එළි දැක්වුනා.



මයික්‍රොසොෆ්ට් සමාගම ඔවුන්ගේ නවතම ගේම් කොන්සෝලය වන Xbox One X උපාංගය පසුගිය සතියේ වෙළඳ පොලට නිකුත් කලා. ඒ සමගින් පසුගිය වසරේ එළි දැක්වුනු සෝනි සමාගමේ PlayStation 4 Pro උපාංගයට ගැලපෙන කදිම තරඟකරුවෙක් කරළියට පැමිණි බව තමා වෙළඳ පොල විචාරකයින් පවසා සිටියේ.



මේ ගේම් කොන්සෝල දෙකම 4K විභේදනයේ වීඩියෝ සඳහා සහාය දක්වනවා. එම නිසා වීඩියෝ ක්‍රීඩා තුල දී  ඉතාමත් උසස් තත්ත්වයේ රූප රාමු මෙම කන්සෝල් දෙකෙන්ම ලබා දෙනවා. කෙසේ වෙතත් මයික්‍රොසොෆ්ට් සමාගම පවසා සිටින්නේ සෝනි සමාගමේ PS4 Pro උපාංගය නියම 4K උපාංගයක් නොවන බවයි. ඔවුන් පවසන පරිදි 4K සඳහා සහය දක්වන එකම ගේම් කොන්සෝලය වන්නේ පසුගියදා නිකුත් කරන ලද Xbox One X උපාංගයයි.

හොඳම ගේම් කොන්සෝලය වීම සඳහා මේ සමාගම් දෙක අතර පවතින තරඟය පසෙක තබා, මේ නවතම කොන්සෝල් දෙකෙහි දෘඩාංග හැකියාවන් පිළිබඳ විමසා බැලුවොත් සැබෑ වැඩකාරයා කවුරුන් දැයි අපිට වටහා ගත හැකි වනු ඇති.

Xbox One X කොන්සෝලය මිල කර ඇත්තේ ඇ.ඩො. $499 කටයි. නමුත් PS4 Pro කොන්සෝලය ඇ.ඩො. $399 කට ලබා ගන්නට පුලුවන්. ඒ අනුව බැලීමේදී මිල වාසිය ඇත්තේ  PS4 Pro වෙතයි. කෙසේ වුවත් මයික්‍රොසොෆ්ට් සමාගම පවසා සිටින්නේ Xbox One X කොන්සෝලය සතු හැකියාවන්  PS4 Pro සමගින් සැසඳිය නොහැකි නිසා මේ මිල වාසිය අදාල කාරණයක් නොවන බවයි.

මේ කොන්සෝල් දෙකෙහි ප්‍රොසෙසර හැකියාවන් පිළිබඳව බැලීමේදී දෙකෙහිම ඇත්තේ සමාන හැකියාවන් බව කිව හැකියි. Xbox One X හි ඇත්තේ 2.3 GHz 8-core x86 වර්ගයේ ප්‍රොසෙසරයකි. PS4 Pro කොන්සෝලයේ ඇත්තේ  2.1GHz 8-core x86 ප්‍රොසෙසරයකි. ඒ අනුව කොන්සෝල දෙකෙහිම ප්‍රොසෙසර හැකියාවන් සමාන බව පෙනීයයි.

කෙසේ වුවත් GPU හෙවත් ග්‍රැෆික් හැකියාවන් සැලකීමේදී Xbox One X ඉදිරියෙන් සිටී.

  • Xbox One X: 40 compute units @ 1.172GHz, 12GB GDDR5, 326GB/sec bandwidth, 6 TFLOPS compute power

  • PS4 Pro: 36 GCN compute units @ 911MHz, 8GB GDDR5, 218GB/sec bandwidth, 4.3 TFLOPS compute power

කෙසේ වෙතත් දෘඩාංග හෙවත් හාර්ඩ්වෙයාර් යනු වීඩියෝ ක්‍රීඩා කොන්සෝලයක් සතු හැකියාව පෙන්වන එක් තලයක් පමණයි. ක්‍රීඩා කළ හැකි සුපිරි වීඩියෝ ක්‍රීඩා නැත්නම් කොපමණ හොඳ කොන්සෝලයකින් වුවත් ප්‍රයෝජනයක් නැහැ.  පසුගියදා නිකුත් වූ Xbox One X සඳහා 4K ප්‍රමිතියට අනුකූලව නිපදවන ලද නමගිය සුපිරි පරිගණක ක්‍රීඩා 30 කට අධික ප්‍රමාණයක් දැනටමත් නිකුත් කර ඇති බව මයික්‍රොසොෆ්ට් සමාගම පවසනවා.

Xbox One X කොන්සෝලය දැනට ඇති සුපිරිම ගේම් කොන්සෝලය දැයි තවමත් හරියටම අපිට කියන්නට බැහැ. ඒ කෙසේ වුවත් Play Station කොන්සෝලයට අපේ වීඩියෝ ක්‍රීඩා ලෝලීන් ගේ ඇති කැමැත්ත Xbox One X කොන්සෝලයෙන් යට නොවෙනු ඇති බව නම් අපට නිසැකවම කියන්නට පුළුවන්.




0 comments: