SpaceX හි අනාගත අභ්‍යවකාශ ඇඳුම් කට්ටලය එළි දකී...


ඇමෙරිකාවේ SpaceX ආයතනයේ නිර්මාතෘ හා ප්‍රධානියා වන එලෝන් මස්ක්, අභ්‍යවකාශ තරණය ගැන බොහෝ උනන්දු පුද්ගලයෙකි. අභ්‍යකාශ තරණය සාමාන්‍ය හා අඩු වියදම් කාර්යයක් කරන්නට නිරන්තරයෙන් වෙර දරන එලෝන් මස්ක් සිය SpaceX සමාගම මගින් අභ්‍යකාශ ප්‍රවාහනය වානිජ කරණය කරන්නට සමත් වී තිබේ. එහි නවතම පියවර ලෙස SpaceX විසින් නිපදවන ලද නවතම අභ්‍යවකාශ නිපැයුම වශයෙන් අභ්‍යවකාශ ගාමීන් පළඳින අභ්‍යවකාශ ඇඳුම් කට්ටලයක් එළි දක්වන්නට පසුගියදා ඔවුන් සමත් වුනා.


අභ්‍යවකාශ ගමනාගමනය, අභ්‍යවකාශ සංචාරක කර්මාන්තය තෙක් සරල හා පහසු කරන්නට එලෝන් මස්ක් සිය උපරිම වෙර දරයි. වර්තමානයේ දී නාසා ආයතනය සමග එක්වී, Dragon කැප්සියුලය ආධාරයෙන් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත භාණ්ඩ ප්‍රවාහනය සිදු කරන SpaceX ආයතනය, අනාගතයේදී සිය අභ්‍යවකාශ කැප්සියුල මගින් ගගනගාමීන් ප්‍රවාහනය කිරීමට ද සැරසෙමින් සිටී. මේ සඳහා අවශ්‍ය වන මූලික අවශ්‍යතාවය වන්නේ කැප්සියුලයේ සිට අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගගනගාමීන් හුවමාරුවේදී සිදුවන අව-පීඩන තත්ත්වයන්ට ඔරොත්තු දෙන ආකාරයේ අභ්‍යවකාශ ඇඳුම් කට්ටලයක් ගගනගාමීන් පැලඳ සිටිය යුතු වීමයි. මේ සඳහා සුදුසු වන ආකාරයේ විශේෂ ගගනගාමී ඇඳුමක් SpaceX විසින් නිපදවා ඇතැයි පසුගියදා නිවේදනය කෙරුණා.

මෙය පූර්ණ ක්‍රියාකාරී තත්ත්වයේ ඇති කට්ටලයක් බව එහිදී එලෝන් මස්ක් ප්‍රකාශ කර සිටියා. එමෙන්ම මෙම ඇඳුම් කට්ටලය අභ්‍යවකාශ රික්තකයේ පීඩනය මෙන් දෙගුණයක අගයක් සඳහා ඔරොත්තු දෙන බව ද සඳහන්. බැලු බැල්මට ම නවීන විද්‍යා ප්‍රබන්ධ සිනමා පටයක දැක්වෙන ආකාරයේ සුපිරි පෙනුමක් මෙම අභ්‍යවකාශ ඇඳුම් කට්ටලය සතුව ඇති බව බැලු බැල්මට පෙනෙන්නට තිබෙන කරුණකි. එලෝන් මස්ක් ප්‍රකාශ කර සිටියේ පෙනුමට සරිලන ලෙසින්ම ක්‍රියාකාරීත්වයත් සැකසීම ඔවුන් මුහුණ දුන් ලොකුම අභියෝගය බවයි.


ඒ අනුව අභ්‍යවකාශ සංචාරයන් සඳහා මිනිසුන් හට අත්‍යාවශ්‍යම උපාංගයක් වන සුපිරි අභ්‍යවකාශ ඇඳුමක් ද දැන් SpaceX සතුය. අභ්‍යවකාශ යානා මෙන්ම අභ්‍යවකාශ ඇඳුම් ද තමා ම නිපදවා ගැනීම මගින් වියදම් අඩු කරගැනීම SpaceX හි අභිප්‍රායයි. මෙම නව ඇඳුම අභ්‍යවකාශ යානා තුළ පමණක් භාවිතා වන එකක් වන අතර යානාවෙන් පිටත කටයුතු සඳහා (EVA) සුදුසු නොවේ. මෙම නව අභ්‍යවකාශ ඇඳුම් කට්ටලය පිළිබඳ සියළු තොරතුරු ලඟදීම හෙළි කරන බව එලෝ්න් මස්ක් වැඩි දුරටත් පවසා සිටී...

0 comments:

මෙන්න ඇන්ඩ්‍රොයිඩ් අලුත්ම එක, Android 8.0 - Oreo


ලොව ජනප්‍රියතම මෙහෙයුම් පද්ධතිය වන ගූගල් සමාගමේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණය ඊයේ (21) එළි දැක්වුනා. ඇන්ඩ්‍රොයිඩ් හි 8.0 වන සංස්කරණය වන මෙය නම් කර තිබෙන්නේ Android 8.0 - Oreo (ඕරිඕ) ලෙසින්. ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ නම් කරන්නේ රස කැවිලි වල නමින් බව ඔබ දැනටමත් දන්නවා ඇති. Android 8.0 හි නාමය වන ඕරිඕ යනු ඉතා ජනප්‍රිය චොක්ලට් බිස්කට් කුකී එකක වෙළද නාමයයි. මීට පෙර Kitkat නම් කල ආකාරයටම මෙහිදී ගූගල් සමාගම Oreo නාමය සඳහා අදාල නිෂ්පාදන සමාගමෙන් අවසර ලබාගෙන ඇති බව සඳහන්.

ගූගල් සමාගම විසින් මෙම නව සංස්කරණය විස්තර කර තිබෙන්නේ “Smarter, faster, more powerful and sweeter than ever. The world's favorite cookie is your new favorite Android release.” යන ලෙසයි. නව මෙහෙයුම් පද්ධති සංස්කරණය නිළ වශයෙන් එළි දැක්වීමත් සමගම ඊට අදාල ලාංඡන පිළිරුව ද ගූගල් මූලස්ථානයේ දී එළි දැක්වූවා. එයට Super Hero ආකෘතියක් එක් කිරීමට මෙවර ගූගල් සමාගම යොමු වී තිබීය ද විශේෂත්වයකි.


ඇන්ඩ්‍රොයිඩ් හි පෙර සංස්කරණය වන Nougat වලට වඩා විශේෂිත වූ වැඩි දියුණු කිරීම් රැසක් Oreo හි දැකිය හැකියි. ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන අත්දැකීම තවත් පහසු හා විචිත්‍ර කරන්නට මෙම නව විශේෂාංගයන් සමත් වනු ඇති.

ඉමෝජි අළුත් වෙයි...

පෙර පැමිණි ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ වල දක්නට ලැබුණු සිනා මූණු හෙවත් ඉමෝජිස් සියල්ලම පාහේ Oreo හිදී නවීකරණය කර තිබේ. ඉමෝජි සියල්ල අලුතින්ම නිර්මාණය කර තිබෙන්නේ පෙර පැවති මෝස්තරයෙන් මඳක් වෙනස් වන ආකාරයටයි. මේ නිසා ඉමෝජි වෙත නවතම පෙනුමක් ලැබී තිබේ.

බැටරි බලය සුරකින - පසුබිම් කාර්යය පාලනය...

Nougat වලදී මෙන්ම Oreo වල ද බැටරි බලය සුරැකීම සඳහා ප්‍රමුඛතාවය ලබා දී තිබේ. implicit broadcasts, background services හා location updates යන අංශයන් හි ස්වයංක්‍රීය පාලනයක් Oreo වෙතින් ලබා දී තිබේ. පසුබිමෙන් ධාවනය වන අනවශ්‍ය මෘදුකාංග යෙදවුම් නැවැත්වීම කෙරෙහි Oreo වැඩි අවධානයක් යොමු කර ඇත. මෙයින් පැහැදිලි වන කරුණ වන්නේ ඔබට වැඩි කාලයක් දුරකථනය භාවිතා කළ හැකි බවයි.


Notification සඳහා නාලිකාවන්...

Notification Channels මගින් පරිශීලකයාට ලැබෙන Notifications කාණ්ඩගත කිරීමට හැකියි. එකම ඇප් එකකදී වුවත් වෙනස් වෙනස් කාණ්ඩ යටතේ Notifications වර්ග කර පරිශීලකයා වෙත ලබා දිය හැකියි. එසේම Notifications දිස්වන ආකාරය පිළිබඳ පූර්ණ බලතල පරිශීලකයාට හිමි කර දීමට Oreo හිදී කටයුතු කර තිබේ. Notification හි පෙනුම හා කාණ්ඩගත කිරීම ද දැන් වැඩි දියුණු කර ඇති අතර ඒ නිසා Notification සමග කටයුතු කිරීම වඩාත් පහසු වී ඇති බව පැවසිය හැකියි.


ඉබේම සම්පූර්ණ වෙන මුරපදයන්...

Autofill API මගින් දැන් ඔබගේ User Name හා Passwords මතක තබා ගෙන ඉබේම ඇතුළත් වන ආකාරයට සැකසීමට පහසුකම් සලසා දී ඇත. මේ සඳහා පාස්වර්ඩ් මතක තබා ගන්නා Password Manager වැනි යෙදුමක් Autofill නමින් හඳුන්වා දී තිබේ.


එකවර App දෙකක වැඩ බලන්න - Picture in Picture පහසුකම...

Picture in Picture හෙවත් PiP යනු ඉතා ප්‍රයෝජනවත් විශේෂාංගයකි. ඔබ Messenger හි චැට් කරමින් සිටිද්දීම, වීඩියෝවක් නැරඹීමටත් මෙමගින් හැකියාව ලැබේ. සරලවම කිව්වොත්, එකවර වැඩ දෙකක් තිරයේ දිස්වීමට සැලැස්වීමට හැකියි. එසේම ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට අතිරේක තිරයක් ඈඳිය හැකි නම්, එම අතිරේක තිරය මත වෙනත් කාර්යයක් දිස්වෙන ලෙස සැකසීමට ද (multi-display support) Oreo මගින්   අවස්ථාව ලබා දෙයි.



මීට අමතරව තවත් බොහෝ නව්‍යතාවයන් Android Oreo සංස්කරණයෙන් හඳුන්වා දී තිබේ.
  • Adaptive Icons and Font Resources in XML
  • Support for Wide-gamut color for apps
  • Better Connectivity Features
  • Accessibility Feature: Fingerprint Gestures
ඔබටත් ලඟදීම ඇන්ඩ්‍රොයිඩ් ඕරිඕ හි රස බලන්නට ලැබේවි...

0 comments:

අභ්‍යවකාශ ඉදිකිරීම් සඳහා එන අළුත්ම රොබෝ සහායකයා...

 

භ්‍යාවකාශය තුල දී විවිධ ඉදිකිරීම් හා  නිර්මාණ කල හැකි ත්‍රිමාණ රොබෝ මුද්‍රණ යන්ත්‍රයක් දැන් එළි දක්වා තිබේ. මෙය හැඳින්වෙන්නේ Archinaut යන නමිනි. මෙය 3D Printer එකක් පමණක්ම නොවේ. මෙයට ඈඳා ඇති රොබෝ අත් වලින් ත්‍රිමාණව මුද්‍රණය කරන වස්තුව නිසි ලෙස සවි කරන්නට හැකියාව ඇති අතර, සංකීර්ණ ආකෘතියක් දක්වා ගොඩ නැංවීමට මෙම  Archinaut හට හැකියාව ඇත. කලින් සැකසූ පරිගණක ආකෘතියකට අනුව අදාල වස්තුවක් ත්‍රිමානව නිර්මාණය කරවීමට මෙයට හැකියාව තිබේ. වඩාත් වැදගත් වන්නේ මෙය අභ්‍යවකාශයේ ශුන්‍ය ගුරුත්වයේ හා රික්තකයේ ඉතා හොඳින් ක්‍රියාත්මක වීමයි. ඒ නිසා මෙයට රොබෝ නිර්මාණ ශිල්පී ගගනගාමියෙක් ලෙසත් පවසන්නට පුුළුවන්.


මේ රොබෝ යන්ත්‍රයට අභ්‍යාවකාශය වැනි රික්තකයක් තුලත් පොලිමර් මිශ්‍ර විවිධ අමුද්‍රව්‍ය කොටස් මිශ්‍ර කරමින් මුද්‍රණය කරන්න පුළුවන්.  මෙහි අනාගත භාවිතාවයන් අභ්‍යාවකාශය තුලම නිර්මාණය කරන විශාල අභ්‍යවකාශ යානා දක්වා ඉදිරියට දිවයන සුවිසල් පරාසයකට අයත් වෙනවා. මේ විශිෂ්ට රොබෝ "නිර්මාපකයා"නිර්මාණය කරන ලද්දේ ඇමරිකාවේ Made in Space සමාගම විසිනි. ඔවුන් මෙයට දී ඇති නම තමයි Archinaut. මීට පෙර මෙම සමාගම විසින් Zero Gravity එනම් ශුන්‍ය ගුරුත්වය යටතේ මුද්‍රණය කල හැකි 3D Printers නිර්මාණය කර ඇති අතර  එම මුද්‍රණ යන්ත්‍ර මේ වන විටත් අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය තුල භාවිතයට ගනු ලබයි.

Archinaut යොදා ගනිමින් සිදු කරනු ලැබූ පරීක්ෂණ වල දී 85cm දිග පොලිමර් මිශ්‍ර දණ්ඩක් තාප රික්තක කුටීරයක් තුල නිර්මාණය කරන්න මෙම රොබෝවට පුළුවන් වී තිබෙනවා.  මේ රොබෝගෙන් එළියට විහිදී ඇති රොබෝ අත් මගින් 3D print කරන දේවල් නිවැරදිව සම්බන්ද කර විශාල නිර්මාණයක්  වුවත් කරන්නට පුළුවන්.

අනාගත අභ්‍යවකාශ නිර්මාණ තාක්ෂණ ක්ෂේත්‍රයේ දී මේ නව රොබෝ නිර්මාණය හුදෙක්ම ආරම්භයක් පමණි. අනාගතයේදී අභ්‍යවකාශ ගත වන සියල්ලම අභ්‍යවකාශයේ දීම තන්නනට මෙවැනි රොබෝ හමුදාවන් යෙදවෙනු ඇත.

Archinaut ගැන වැඩි විස්තර සඳහා පහත වීඩියෝව නරඹන්න.

0 comments:

මොටෝරෝලා සුරතලා - නවතම Motorola Moto X4 හි තොරතුරු

මොටෝරෝලා සමාගමේ නවතම නිෂ්පාදනය වශයෙන් එළි දකින්නට නියමිත Motorola Moto X4 හි නවතම තොරතුරු අන්තර්ජාලය වෙත නිකුත් කර තිබෙනවා. නිළ වශයෙන් ප්‍රකාශ කර නැතත්, අවසානයේ එළි දක්වන උපාංගය බොහෝ දුරට මෙම විශේෂාංග වලින් සමන්විත වනු ඇති බව පැවසේ. මොටෝරෝලා Moto දුරකථන කාණ්ඩයේ නවතම සංස්කරණය වන Moto X4 ස්මාට් දුරකථනය විශිෂ්ඨ නිමාවකින් සමන්විත වන අතර, ද්විත්ව කැමරා (Dual-Camera) අඩංගු කර ඇති බවට ද ආරංචි පැතිර යනවා.

 Moto X4 මධ්‍යම කාණ්ඩයේ දුරකථනයකි. එම නිසා උසස් ඝණයේ ස්මාට් දුරකථන වල ඇති සුපිරි විශේෂාංග මෙයින් බලාපොරොත්තු විය නොහැකියි. කෙසේ වෙතත් මතුපිට පෙනුම ගැන කථා කරන විට නම් මෙය සුපිරි දුරකථනයක් ලෙසින් බැලු බැල්මට පෙනී යයි. නිමාව පිළිබඳ සැලකීමේදී ඉදිරිපස තිරය විශේෂත්වයක් නැති අතර, ඇඟිලි සලකුණු කියවනය (Finger Print Scanner) ඉදිරිපස තිරයේ ස්ථානගත කිරීම හොඳ ප්‍රවනතාවයක් ලෙසින් දැක්විය හැකියි.


අඟල් 5.2 ක Full HD තිරයක්, Qualcomm Snapdragon 630 ප්‍රොසෙසරයක් හා 3,000 mAh අධිබල බැටරියක්  Moto X4 හි අඩංගු වනු ඇති. එසේම 3GB RAM මතකයකින් හා 32GB අභ්‍යන්තර මතක ගබඩාවකින් මෙය සමන්විත වනු ඇත. මුලින් සඳහන් කළ පරිදි ද්විත්ව කැමරා (Dual-Camera) අඩංගු වනු ඇති අතර එම කැමරා කාච දෙකට ඉහළින් dual-tone LED flash එකක් ස්ථානගත කර තිබෙන අයුරු දැකිය හැකියි. මෙම කැමරා ද්විත්වය 8MP (f/2.2, 120-degree FoV) හා 12MP (f/2.0) ලෙස දක්වා තිබේ. මීට අමතරව 16MP සෙල්ෆි කැමරාවක් ද දුරකථනයේ ඉදිරිපස අඩංගු කර ඇත.

මේ සියළු කාරණා නිළ නොවන තොරතුරු වන අතර අවසන් එළි දැක්වීමේදී මේ විශේෂාංග වෙනස් වනු ඇත. තවමත් Motorola Moto X4 හි මිළ ගණන් හෙළි කර නොමැත අතර එය බොහෝ විට පෙර දුරකථන මාදිලි වල මිල මට්ටමේම පවතිනු ඇතැයි අනුමාන කළ හැක...

0 comments:

ක්‍රියාදාම ගණයේ පරිගණක ක්‍රීඩා (Action Games) මොළයට හානිකරයි !!!

 

රිගණක හා වීඩියෝ ක්‍රීඩා වලට ඇබ්බැහි වූ ඕනෑම කෙනෙක් ගෙන් ඇක්ෂන් ගේම්ස් ගැන ඇසුව හොත් ලැබෙන පිළිතුරු වන්නේ, එය මොළයේ චාලක හැකියාවන්ට හා තීරණ ගැනීමේ හැකියාවන්ට ධනාත්මක ලෙසින් බලපාන බවයි. පරිගණක ක්‍රීඩා හා මොළය සම්බන්ධයෙන් කෙරෙන කථා වල දී නිතර පවසන කරුණක් වන්නේ, ක්‍රියාදාම ගණයේ ක්‍රීඩා නිසා ඉක්මනින් නිවැරදි තීරණ ගැනීමේ මොළයේ හැකියාව වැඩි දියුණු වන බව සහ ඉගැනුම් ක්‍රියාවලිය සඳහා මොළයේ ධාරිතාවය වැඩි දියුණු වන බවයි. කෙසේ වෙතත් පරිගණක ක්‍රීඩා සම්බන්ධයෙන් සිදු කරන නවතම අධ්‍යයනයන් ගෙන් හෙළිවන්නේ පරිගණක ක්‍රීඩාවන් හි නිරත වීමෙන් ඔබට ලැබෙන හොඳ ට වඩා නරක ප්‍රතිඵල වැඩි බවයි.

මොන්ට්‍රියල් සරසවියේ පර්යේෂණ කණ්ඩායක් විසින් සිදු කරන ලද අධ්‍යයනයක් මෙම නවතම සොයා ගැනීමට හේතු පාදක වී තිබේ. මෙම අධ්‍යයනය සඳහා ඉහත පර්යේෂණ කණ්ඩායම විසින් මිනිසුන් 51 දෙනෙකු සහ ගැහැණුන් 46 ක් යොදා ගෙන ඇති බව සඳහන්.




පළමුව මෙම අධ්‍යයන කණ්ඩායමට first-person වර්ගයේ ක්‍රීඩාවක් ලබා දෙන ලදී. වංගගිරියක් වැනි අවුල් ජාල සහිත මාර්ගයන් ඔස්සේ මෙම ක්‍රීඩාවේ ඉදිරියට යා යුතුව තිබිණි. මෙම ක්‍රීඩාවේ යෙදෙද්දී ලබා ගත් දත්ත අනුව පර්යේෂණ කණ්ඩායමට පෙනී ගියේ මෙම ක්‍රීඩකයින් පැහැදිලි කාණ්ඩ දෙකකට වෙන් කළ හැකි බවයි. පළමු කොටස අවකාශය පිළිබඳව සවිඥ්ඥානික වූ අතර ඔවුන් ඉහත කී අවුල් ජාලයක් වූ මාර්ග හරහා ගමන් කලේ පසුතලයේ ඇති මං සළකුණු මතකයේ තබා ගනිමිනි. දෙවැනි කොටස ප්‍රතික්‍රියාවන්ට අනුකූල වූ අතර ඔවුන් තමන් ආ මාර්ගය මතක තබා ගත්තේ වමට හා දකුණට හැරුණු ආකාරය ඇසුරෙනි. අධ්‍යයනයන්ට අනුව පෙනී ගොස් ඇත්තේ ක්‍රීඩාව සඳහා සහභාගි වූවන් ගෙන් 85% ක් දෙවැනි ආකාරය වූ ප්‍රතික්‍රියා අනුකූල අය වන බවයි.

මෙම අධ්‍යයනයේ දෙවැනි අදියර ලෙසින් එකිනෙකට වෙනස් ආකාරයේ ක්‍රීඩා වර්ග දෙකක් ලබාදෙන ලදී. පළමුව Call of Duty වැනි first-person ක්‍රීඩා කීපයක් පැය 90 ක් කාලයක් ක්‍රීඩා කරන්නට ලබා දුන් අතර, පසුව Super Mario වැනි පරිගණක ක්‍රීඩාවන් තවත් පැය 90 ක කාලයක් ක්‍රීඩා කරන්නට ලබා දී තිබේ. මෙම අදියරේ එක් එක් පරිගණක ක්‍රීඩා කාණ්ඩයක්ම අවසානයේ සහභාගි වූ සෑම දෙනෙකු ගේම මොළය ස්කෑන් පරීක්ෂාවට ලක් කරන ලදී.



මෙහිදී මොළයේ විශේෂ කලාප දෙකක් වෙත පර්යේෂකයින් ගේ අවධානය යොමු විණී. ඒ මොළයේ හිපොකැම්පසය හා සපුච්ඡ ගර්භය යන කළාප දෙකයි. හිපොකැම්පස මගින් අප නිවැරදිව ස්ථානගත කරන අතර සපුච්ඡ ගර්භය මගින් ඇබ්බැහි හා හැසිරීම් රටා ඇති කරවනු ලබයි. සාමාන්‍යෙයන් සිදුවන්නේ මේ කළාප දෙකෙන් එකක් වැඩිපුර භාවිතා වීමේදී අනෙකෙහි භාවිතාවය අඩුවී යෑමයි.

ප්‍රතික්‍රියා අනුකූලතා දැක්වූ පරිශීලකයන් සපුච්ඡ ගර්භය මත පදනම් වන අතර මේ නිසා හිපොකැම්පසයේ භාවිතාවය ක්ෂය වීමක් සිදුවේ. මේ හේතුව නිසා හිපොකැම්පසෙහි ඇති ධූසර පදාර්ථයන් අඩුවීම සිදුවේ. හිපොකැම්පසෙහි ඇති මෙම ධූසර පදාර්ථයන් අඩුවීමෙන් විෂාදය හා ඇල්ෂයිමර් වැනි දරුණු ගණයේ ප්‍රතිඵලයන්ට මුහුණු පෑමට සිදුවේ. මේ නිසා ඉහත අධ්‍යයනයෙහි යෙදුනු පර්යේෂණ කණ්ඩායම සඳහන් කරන්නේ විෂාදය හා ඇල්ෂයිමර් වැනි රෝග තත්ත්වයන් ගෙන් පෙළෙන අය කිසිසේත්ම action වර්ගයේ ක්‍රීඩාවන් හි නිරත නොවිය යුතු බවයි.

ඉහත තත්ත්වයට ප්‍රතිවිරුද්ධ ලෙසින්, Super Mario වැනි පරිගණක ක්‍රීඩාවන් වලදී හිපොකැම්පසෙහි ධූසර පදාර්ථයන් හි වැඩිවීමක් සිදුවන බව සොයා ගෙන තිබේ. මෙම තත්ත්වය ඉහත කී කාණ්ඩ දෙකටම පොදු වීම ද විශේෂත්වයකි. අවකාශමය උපයෝගීතාවයන් හිපොකැම්පසෙහි ධූසර පදාර්ථයන් වැඩි කරලීමට දායක වන බව මෙම අධ්‍යයනයෙන් හෙළි වන වැදගත් ම කාරණයයි. මේ නිසා මොළයෙහි හිපොකැම්පසයෙහි ඇති වන හානිකර තත්ත්වයන් වලක්වා ගැනීම සඳහා අවකාශමය ප්‍රතියෝජකයන් අඩංගු පරිගණක ක්‍රීඩාවන් හි යෙදීමේ වටිනාකම මෙම අධ්‍යයනයෙන් හෙළි වේ...

0 comments:

ඇන්ඩ්‍රොයිඩ් පැරණි සංස්කරණ තාමත් ජනප්‍රියයි ලු !!!

 

න්ඩ්‍රොයිඩ් ජංගම මෙහෙයුම් පද්ධතියේ 7.0 වැනි සංස්කරණය ලෙසින් Android 7 Nougat (නෝගට්) මෙහෙයුම් පද්ධතිය එළි දකින්නේ වසරකට පමණ පෙරයි. එසේ ගතවුනු වසරක කාලය තුළ දී විවිධාකාරයේ නවතම ජංගම උපාංග රාශියක් ඇන්ඩ්‍රොයිඩ් නෝගට් සමගින් එළි දැක්විණි. ඒ අතර Galaxy S8 හා LG G6 වැනි ඉහළ කාණ්ඩයේ උපාංගයන් ද වේ. ඇන්ඩ්‍රොයිඩ් යනු ලෝකයේ ජනප්‍රියතම හා වැඩියෙන්ම භාවිතා වන මෙහෙයුම් පද්ධිතය බව සැබෑ නමුත්, ඇන්ඩ්‍රොයිඩ් හි නවතම සංස්කරණය තවමත් රස විඳින්නේ ඉතා අඩු පරිශීලකයින් ප්‍රමාණයක් පමණි.


 ඇන්ඩ්‍රොයිඩ් හි විවිධ මෙහෙයුම් පද්ධති සංස්කරණ වල භාවිත ප්‍රතිශතයන් හි නවතම දත්තයන් ගූගල් සමාගම විසින් පසුගියදා නිකුත් කරන්නට යෙදිණි. එහිදී පෙනී ගිය කරුණක් වන්නේ ඇන්ඩ්‍රොයිඩ් හි නවතම සංස්කරණය භාවිතා කරන්නේ ඇන්ඩ්‍රොයිඩ් පරිශීලකයින් ගෙන් 13.5% ක් පමණක් බවයි. ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරන සියළුම උපාංගයන් හි වැඩිම ප්‍රතිශතයකට හිමිකම් කියන්නේ Marshmallow (මාෂ්මෙලෝ) සංස්කරණයයි. එය ප්‍රතිශතයක් ලෙසින් 32.3% කි. Lollipop (ලොලිපොප්) සංස්කරණය ද 29.2% ප්‍රතිශතයකට හිමිකම් කියයි. මෙම දත්තයන් අනුව පෙනෙන්නට ඇති අපූරු කරුණක් වන්නේ, වසර 04 කට පෙර නිකුත් කරන ලද පැරණි ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයක් වන KitKat (කිට්කැට්) සංස්කරණය භාවිතා කරන පරිශීලක ප්‍රමාණය නවතම සංස්කරණය වන Nougat (නෝගට්) වලට වඩා වැඩි වීමයි.  KitKat (කිට්කැට්) හි භාවිත ප්‍රතිශතය 16% කි.

Nougat (නෝගට්) සංස්කරණයට පෙර පැමිණි Marshmallow (මාෂ්මෙලෝ)  හා සැසඳීමේ දී නෝගට් සිටින්නේ ඉතා පසුගාමී තැනක බව පෙනී යයි. පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී, එනම් නෝගට් සංස්කරණය එළි දක්වන අවධියේ දී, එවකට තිබුණු නවතම මෙහෙයුම් පද්ධතිය ලෙසින් මාෂ්මෙලෝ සංස්කරණයට 15.2% ක ප්‍රතිශතයක් හිමිව පැවතිණි. වසරකට පසු තවමත් නෝගට් හිමි කර ගෙන ඇත්තේ 13.5% ක් පමණි. 


ඇපල් උපාංග හා සැසඳීමේදී iOS හි නවතම සංස්කරණයන් බහුතර උපාංග ප්‍රමාණයක් භාවිතා වන බව පෙනී යයි. නවතම iOS සංස්කරණය වන iOS 10 සංස්කරණය ඇපල් උපාංග 87% ක ධාවනය වේ. ඇන්ඩ්‍රොයිඩ් හා සැසඳීමේ දී ඇපල් උපාංග සඳහා නිතරම නවතම මෙහෙයුම් පද්ධති සංස්කරණය ලැබෙන බව නිරන්තරයෙන් පෙනී යන කරුණකි. ඒ සඳහා හේතුව වන්නේ ඇපල් උපාංගයන් හි දෘඩාංග හා මෘදුකාංග යන අංශ දෙකම ඇපල් ආයතනය විසින් පාලනය කිරීමයි. නමුත් ඇන්ඩ්‍රොයිඩ් හි මෘදුකාංග අංශය ගූගල් සමාගම මෙහෙයවූවත්, දෘඩාංග - එනම් ඇන්ඩ්‍රොයිඩ් උපාංග නිෂ්පාදනය කරන්නේ විවිධාකාර සමාගම් විසිනි. මේ සමාගම් විසින් සිය උපාංගයන් වෙත නවතම ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය ලබා දෙන්නේ බොහෝ ප්‍රමාද වී බව පෙනීයයි. මේ නිසා ඇන්ඩ්‍රොයිඩ් උපාංගයන් හි භාවිතා වෙනස් වෙනස් සංස්කරණයි. 

ඇන්ඩ්‍රොයිඩ් හි නවතම සංස්කරණය වන Android O ලඟදීම නිකුත් වන්නට නියමිතයි. ඒ මෙහෙයුම් පද්ධති සංස්කරණයටත් පෙර කරුමයම උරුම නොවන්නට නම් ගූගල් සමාගමට නවතම මාර්ගයක් පාදා ගත යුතුව තිබේ...

1 comments: