
ෆේස්බුක් කියන්නේ අපිට නැතුවම බැරි සේවාවක්. අන්තර්ජාල ප්‍රජාව අතර දිනකට එක් වරක් හෝ ෆේස්බුක් භාවිතා නොකරන අයෙක් සොයා ගන්නට අපහසුයි. සමාජ-ජාල සේවාවන් අතර ප්‍රථමයා මෙන්ම ප්‍රමුඛයා වන්නේ ද ෆේස්බුක් සේවාවයි. මේ වන විට හුදෙක්ම වෙබ් අඩවියක් හෝ සමාජ-ජාලයක් යන තැනින් ඔබ්බට ගොස්, අන්තර්ජාල සේවාවක් ලෙසින් ෆේස්බුක් ඉදිරියට පැමිණ තිබේ. ෆේස්බුක් සමාජ-ජාලය ගැන මෑතකදී අසන්නට ලැබුණු අළුත්ම පුවත් දෙකක් ඔබ වෙතට ගෙන එන්නයි මේ සූදානම...
මුලින්ම පවසන්නට යන්නේ ෆේස්බුක් හි තවත් ජයග්‍රාහි කඩඉමක් පිළීබඳවයි. ෆේස්බුක් ජාලයේ මාසික සක්‍රිය පරිශීලක ප්‍රමාණය බිලියන දෙකක සීමාවට ලඟා වූ බව අපට අසන්නට ලැබුණා. ෆේස්බුක් ප්‍රධානී මාක් ෂුකර්බර්ග් ෆේස්බුක් පණිවුඩයක් මගින් ඒ බව ලොවට ප්‍රකාශ කරන්නට යෙදුණා.
"ෆේස්බුක් හි සක්‍රීය සාමාජිකයින් ගණන බිලියන දෙකක් කරා ලඟා වූ බව නිල වශයෙන් දැනුම් දෙමි. ලෝකයම එකට සම්බන්ධ කරන්නට අපි පාර තැනුවෙමු... දැන්, අපි ලෝකය තවත් කිට්ටු කරවන්නට කටයුතු කරමින් සිටින්නෙමු... ඔබ සමගින් මේ යන මේ ගමන මට මහත් ගෞරවයකි..." යනුවෙන් මාක් ෂුකර්බර්ග් සඳහන් කර තිබිණි.
ෆේස්බුක් සේවාව 2004 වර්ශයේදී ආරම්භ වූ අතර බිලියනක සාමාජික ප්‍රමාණයට ලඟාවීමට වසර 08 ක් ගතවිය. 2012 දී බිලියනයේ සීමාව පසුකළ ඔවුන් බිලියන 1.5 සීමාව වෙත 2015 දී ලඟා වූ අතර බිලියන 2 සීමාව වෙත 2017 ජුනි මාසයේ දී ලඟාවීමට සමත් වූහ. ෆේස්බුක් සමාජ-ජාලයට අමතරව, ෆේස්බුක් ආයතනය සතු අනෙකුත් සේවාවන් වන මැසෙන්ජර් (Messenger) සේවාව හා වට්ස්ඇප් (WhatsApp) සේවාවන් ද පරිශීලයින් බිලියනක සීමාව පසු කරන්නට සමත් වී තිබේ.
දෙවන පුවතින් අප පවසන්නට සැරසෙන්නේ ෆේස්බුක් ආයතනය විසින් සැලසුම් කරමින් යන නවතම වැඩ පිළිවෙලක් පිළිබඳවයි. ඒ අනුව ඉදිරියේදී ෆේස්බුක් ආයතනය විසින් රූපවාහිනී කථා මාලා නිෂ්පාදනය සඳහා සිත යොමුකර ඇති බව අසන්නට ලැබෙනවා. හොලිවුඩ් හි ප්‍රධාන පෙළේ චිත්‍රාගාර, නිෂ්පාදන ආයතන සහ නියෝජිත ආයතන සමගින් මේ පිළිබඳව අවශ්‍ය වන නිළ සාකච්ඡා මේ වන විටත් පවත්වා අවසන් අතර එහිදී ධනාත්මක ප්‍රතිචාර ලැබී ඇති බවයි සඳහන් වන්නේ. ඒ අනුව Netflix හා Hulu වැනි ස්ට්‍රීමින් (Streaming) සේවාවන් මෙන් ඉදිරියේදී ෆේස්බුක් ඔස්සේද ටීවී සීරීස් හෙවත් ටෙලි කථා මාලා නැරඹීමට හැකිවනු ඇත.
එක් කථාංගයක් සඳහා ෆේස්බුක් ආයතනය විසින් ඩොලර් මිලියන 03 ක් වැනි ඉහළ මුදලක් ගෙවීමට එකඟ වී තිබේ. අවුරුදු 13 ත් 34 ත් අතර ප්‍රේක්ෂක පිරිස ෆේස්බුක් ආයතනයේ ඉලක්කය වී තිබේ. විශේෂයෙන්ම 17-30 වයස් කාණ්ඩය කෙරෙහි ඔවුන්ගේ සුවිශේෂී අවධානයක් යොමු කර තිබේ. පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි අන්තර්ගතයන් ෆේස්බුක් ස්ට්‍රීමින් සේවාව මගින් ලබාදෙනු ඇති අතර ඒවා දේශපාලනික හෝ ප්‍රවෘත්තිමය අගයයන්ගෙන් තොර, එමෙන්ම නිරුවත් දර්ශණ හෝ අසභ්‍ය වදන් වලින් තොර වූ ඒවා වනු ඇතැයි බලාපොරොත්තු පළවේ.
දැනටමත් ටෙලි කථාංග දෙකක් ෆේස්බුක් ස්ට්‍රීමින් සේවාව වෙත එක්කර තිබේ. ස්ට්‍රේන්ජර්ස් (Strangers) හා ලාස්ට් ස්ටේට් ස්ටෑන්ඩින් (Last State Standing) යන කථා මාලා දෙකයි. මේ වසර අවසානයට පෙර ෆේස්බුක් ඔස්සේ ටීවී සීරීස් නැරඹීමටත් අවස්ථාවක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු තබා ගත හැකි බව පෙනේ.
0 comments: