මයික්‍රොසොෆ්ට් පේන්ට් (MS Paint) අවසන් ගමන් යයි...

 
බත් ඔබේ කුඩා අවධියේ පටන්ම පරිගණකය අතපත ගාන්නට පුරුදු පුහුණු වූ අයෙක් නම් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ නිත්‍ය සාමාජිකයෙක් වූ පේන්ට් මෘදුකාංගය ගැන දන්නවා ඇති. 80 දශකයේ පටන් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සමග පැමිණි මේ මූලික චිත්‍රකරණ මෘදුකාංගය මේ වන විට වසර 32 ක් පැරණි බව ඔබ දන්නවාද ? කෙසේ වුවත් අපට මයික්‍රොසොෆ්ට් සමාගමෙන් ලැබෙන ආරංචි අනුව අසන්නට ලැබෙන්නේ පේන්ට් මෘදුකාංගය අවසන් ගමන් යවන්නට සැරසෙන බවයි.

වින්ඩෝස් 10 සඳහා ලබාදීමට නියමිතව ඇති මීලඟ යාවත්කාලීන සංස්කරණය වන Windows 10 Fall Creators Update හිදී මයික්‍රොසොෆ්ට් පේන්ට් මෘදුකාංගය අඩංගු නොවන බව පැවසෙනවා. ඒ අනුව වසර 32 ක් පුරා වින්ඩෝස් සමග බැඳී තිබුණු පේන්ට් හි කථාව එයින් මතු අවසන් වනු ඇති. වින්ඩෝස් හි පළමු සංස්කරණය (Windows 1.0) සමග පළමුවරට නිකුත් කරන ලද පේන්ට් මෘදුකාංගය ලොව පළමු ග්‍රැෆික් මෘදුකාංග අතරට එක්වන පුරෝගාමී මෘදුකාංගයකි.

Paint 3D

Windows 10 හි පළමු යාවත්කාලීනය වන Creators Update හිදී Paint 3D නම් නවතම මෘදුකාංගයක් හඳුන්වා දෙන්නට යෙදිණි. මෙය පේන්ට් මෘදුකාංගයේ හැකියාවන්ට වඩා වෙනස් වන නවතම මෘදුකාංගයකි. ඉදිරියේදී අපට වින්ඩෝස් සමග දකින්නට ලැබෙන්නේ Paint 3D පමණකි. Fall Creators Update එකේදී පේන්ට් මෘදුකාංගය සමගින්, අවුට්ලුක් එක්ස්ප්‍රස් හා රීඩර් යන පැරණි මෘදුකාංග දෙකට සේවයෙන් විශ්‍රාම ගැන්වීමට නියමිතව තිබේ.


පේන්ට් මෘදුකාංගය ඉතා ඉහළ හැකියාවන්ගෙන් යුතු ග්‍රැෆික් සංස්කරණ මෘදුකාංගයක් නොවේ. නමුත් පින්තූරයක් කපා කොටා ගන්නට හෝ සරල සිත්තමක් ඇඳ ගන්නට වැනි සරල වැඩ කටයුතු කීපයක් එමගින් සිදුකළ හැකිව තිබිණි. මෙය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සමගම ලැබෙන නිසා වෙනත් මෘදුකාංගයක් ස්ථාපනය කිරීමකින් තොරව අදාල කටයුතු සිදු කරගත හැකිවීම අමතර වාසියක් විය. පේන්ට් වලට වඩා විශිෂ්ඨ හැකියාවන්ගෙන් යුතු ග්‍රැෆික් මෘදුකාංග රැසක් එළි දක්වා තිබුණූ නමුත්, පේන්ට් මෘදුකාංගයේ හැකියාවන් කාලයත් සමග වැඩි දියුණු කරන්නට මයික්‍රොසොෆ්ට් සමාගම කටයුතු නොකිිරීම ඔවුන්ගේ අත් වැරැද්දක් ලෙසින් අපට පෙනේ. කෙසේ වුවත් ඔෆිස් හි ක්ලිපී මෙන් ඉදිරි අනාගතයේදී පේන්ට් ගැන ද අපේ මතකය ආවර්ජනය කරන්නට කාලය එළඹ තිබේ. වින්ඩෝස් හි දීර්ඝකාලීන සගයෙක් ලෙස පේන්ට් ගැන මතකය අපේ හදවත් වල සදා රැඳෙන බව නොඅනුමානයි...

0 comments:

Apps වලින් උපරිම වැඩ ගන්න - Bhasha App Talk වීඩියෝ මාලාව බලන්න...

 

භාෂා ලංකා ආයතනය කියන්නේ ඔයාලා හොඳටම දන්න හෙළකුරු, මොබිටීවී, රූප වගේ ලංකාවේ ජනප්‍රියතම මොබයිල් ඇප්ස් ගොඩක් නිර්මාණය කරපු ලංකාවේ ප්‍රමුඛතම මෘදුකාංග ආයතනයයි. අවුරුදු පහක් පුරා භාෂා එක්ක එකතු වෙලා හිටපු ශ්‍රී ලාංකික ජංගම දුරකථන පරිශීලකයන්  වෙනුවෙන් මෙන්න ඒ ගොල්ලෝ අළුත් වැඩක් පටන් ගන්නයි යන්නේ... මොකක්ද ඒ ? අපි කියනවට වඩා මෙන්න අහන්න... භාෂා ලංකා ආයතනය මේ ගැන කියලා තියෙන්නේ මෙන්න මෙහෙමයි... 



0 comments:

Samsung Galaxy Note 8 අගෝස්තු මාසයේදී නිකුත් වේ...

සැම්සුන් සමාගමේ නවතම නිෂ්පාදනය ලෙස එළි දක්වන්නට නියමිත Samsung Galaxy Note 8 උපාංගය වෙළඳපොලට නිකුත් කරන දිනය නිළ වශයෙන් ප්‍රකාශයට පත්වී තිබෙනවා. ඒ අනුව මෙතෙක් කලක් ඒ වෙනුවෙන් බලා සිටි Galaxy Note පාරිභෝගිකයන් හට දැන් තවත් මාසයක පමණ කාලයකින් පසු තමන්ගේ ප්‍රියතම උපාංගයේ නවතම සංස්කරණය මිලට ගැනීමට හැකියි. සැම්සුන් සමාගම නිළ වශයෙන් ප්‍රකාශ කර සිටියේ ලබන අගෝස්තු මාසයේ 23 වැනි බදදා දින Galaxy Note 8 උපාංගය එළි දක්වන බවයි.

ගැලැක්සි S8 මාදිලියේ අනෙකුත් උපාංගයන් හි හැඩරුව හා නිර්මාණ සංකල්පයන් අනුව යමින් Galaxy Note 8 උපාංගය ද සැලසුම් කර ඇත. ඒ අනුව අනෙක් S8 උපාංගයන් මෙන්ම  Infinity Display ලෙසින් හැඳින්වෙන දාර රහිත දර්ශණ තිරයකින් ද, උපාංගයේ ඉදිරිපස හා පසුපස යන දෙපැත්තේම වීදුරු වලින් නිර්මාණය කර තිබීම ද, උපාංගයේ පසුපස කොටසේ රඳවනු ලබන ඇඟිලි සටහන් කියවීමේ සංවේදකය ද අපට මෙම Galaxy Note 8 උපාංගයේ දීද බලාපොරොත්තු විය හැකියි.


Galaxy S8 හා Galaxy S8+ යන උපාංගයන් ගෙන් Note 8 උපාංගය වෙනස් වන්නේ ඒ හා අඩංගු කර ඇති S-Pen නම් සහායක උපාංගය නිසායි. මෙය පෑනක් මෙන් තිරය මත ඇඳිය හැකි ආකාරයෙන් නිර්මාණය කර තිබේ. Note 8 උපාංගය ජනප්‍රිය වන්නට බලපෑ ප්‍රධාන හේතුවක් වන්නේ ද මේ S-Pen එකයි. එසේම Note 8 හි අඟල් 6.3 ක දැවැන්ත තිරයත්, පසුපස ද්විත්ව කැමරා පිහිටුවා තිබීම හා Snapdragon 836 මාදිලියේ වඩාත් බලගතු ප්‍රොසෙසරයකින් බල ගැන්වීමත් යන කාරණා S8 පවුලේ අනෙකුත් උපාංගයන්ට වඩා Note 8 උපාංගය සුවිශේෂී වීමට හේතු කාරණා වී තිබේ.

මීට පෙර එළි දැක්වූ ගැලැක්සි S7 උපාංගය අධික ලෙස රත් වී පුපුරා යෑම හා ගිනි ගැනීම ආදී කාරණා නිසා පලුදු වී තිබුනු පාරිභෝගික විශ්වාසය නැවතත් දිනා ගැනීමට මෙම නව Galaxy Note 8 උපාංගය සමත් වෙනු ඇතැයි යන්න අපේ විශ්වාසයයි...

0 comments:

ඇපල් පරදා ඇපල් පිහිටෙන් උඩට එන සැම්සුන්...

ලෝකයේ වැඩිම ලාභ ලබන තාක්ෂණික සමාගම වන්නේ ඇපල් සමාගමයි. නමුත් ඉතා කෙටි කාලයක් ඇතුළත ඇපල් පරදා ඒ තැන ගන්නට සැම්සුන් සමාගම සමත් වන ලකුණු පෙනේ. දකුණු කොරියානු තාක්ෂණික දැවැන්තයා වූ සැම්සුන් සමාගම, ලෝකය පුරාම තම අණසක පතුරා සිටින්නේ විවිධ තාක්ෂණික උපාංග නිෂ්පාදනය කරන සමාගමක් ලෙසිනි. සිය නිෂ්පාදන මගින් පසුගිය කාර්තුවේ ලාභය ලෙස වොන් ට්‍රිලියන 14 ක් (ඇමෙරිකානු ඩොලර් බිලියන 12.1) ක් උපයා ගැනීමට ඔවුන් සමත් ව ඇත. මෙය පසුගිය අවුරුද්දේ අදාල කාල සීමාවට අදාලව සැසඳීමේදී 72% ක වර්ධනයකි. ඇපල් සමාගම විසින් එම කාල සීමාවේදී උපයා ගෙන ඇති ලාභය වන්නේ ඇමෙරිකානු ඩොලර් බිලියන 10.6 කි.

ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත iPhone 7S හා iPhone 8 උපාංග වෙළඳපොලට නිකුත් කිරීමෙන් පසු ඇපල් සමාගමේ ලාභය තවත් ඉහළ යනු ඇත. ඒ සමගින් ඇපල් සමාගමේ ලාභය සැම්සුන් හි ලාභය හා සමවෙනු ඇතැයි පෙනෙනු ඇත. නමුත් ඇත්තෙන්ම ඇපල් සමාගමේ නිෂ්පාදන වැඩි වැඩියෙන් විකිණීම යනු සැම්සුන් සමාගමේ ලාභය වැඩි වීමකි. ඇපල් උපාංග සඳහා ප්‍රොසෙසර, මෙමරි චිප් හා දුරකතන තිර ආදී සහායක උපාංග ලබාගන්නේ සැම්සුන් සමාගමෙනි. එම නිසා ඇපල් හි ලාභය වැඩි වීම යනු වක්‍රාකාරව සැම්සුන් හි ලාභය වැඩිවීමකි.


ස්මාට් දුරකථන වෙළඳාමට වඩා සැම්සුන් සමාගමට ලාභ ගෙන එන්නේ ප්‍රොසෙසර, මෙමරි චිප් හා දුරකතන තිර ආදිය නිෂ්පාදනය කිරීමයි. එය දළ වශයෙන් 60% කි. ජංගම දුරකථන නිෂ්පාදක සමාගම් රැසක් බිහි වී තිබුණත් ඒ සඳහා අවශ්‍ය අංගෝපාංග නිෂ්පාදනය කරන්නේ සැම්සුම් සමාගම ඇතුළු නිෂ්පාදන සමාගම් කීපයක් පමණි. විශේෂයෙන්ම OLED තිර නිෂ්පාදනයේ ප්‍රමුඛ ස්ථානය ලබා සිටින්නේ සැම්සුන් සමාගමයි. OLED අංශයෙන් ද විශාල ලාභයක් සැම්සුන් සමාගම උපයා ගනී.


ඇපල් සමාගමේ ලාභාංශ පරදවමින් ලෝකයේ වැඩිම ලාභයක් උපයන සමාගම වීම සැම්සුන් සමාගමට නම් උදම් වීම කාරණයකි. ඒ ඇමෙරිකානු ආධිපත්‍යය අභිබවා යමින් ආසියානු තාක්ෂණික සමාගමක් වශයෙන් සැම්සුන් සමාගමේ නැගී සිටීම සුවිශේෂී වන නිසායි...

0 comments:

Intel Core i9 ප්‍රොසෙසරය Overclock වාර්තාවක් පිහිටුවයි...

 
ඉන්ටෙල් සමාගම විසින් හඳුන්වා දෙනු ලැබූ නවතම ප්‍රොසෙසර කාණ්ඩය වන Core i9 හි 7900X මාදිලියේ ප්‍රොසෙසරයක් ඉතා ඉහළ ඝටිකා වේගයකට (clock speed) Overclock කර වාර්තාවක් පිහිටුවන්නට පසුගියදා සමත් වුනා. Core i9-7900X ප්‍රොසෙසර මාදිලියේ core 10 ක් ඇති අතර මෙම ප්‍රොසෙසරයේ සම්මත වේගය වන 3.3GHz ඉක්මවා ගොස්  6 GHz  (6,016MHz) දක්වා වූ දැවැන්ත වේගයක් ප්‍රොසෙසරයට ලබා දෙන්නට මෙම Overclock කිරීමේදී හැකියාව ලැබී තිබෙනවා. මෙම 6 GHz clock speed එක මේ කාණ්ඩයේ ප්‍රොසෙසර සඳහා වන නව Overclocking වාර්තාව බවට පත්වී තිබේ.


ද්‍රව නයිට්‍රජන් (LN2) උපයෝගී කර ගනිමින් ගොඩ නැංවූ සිසිලන පද්ධතියක් (cooler) මේ Overclock කිරීම සඳහා යොදා ගෙන තිබෙනවා. මෙහිදී පහත දැක්වෙන දෘඩාංග සැකසුම යොදා ගෙන තිබේ.

  • 4GB G.Skill Trident Z DDR4 මතකය
  • Gigabite X299 SOC Champion මව් පුවරුව
  • 120GB Neutron GTX SSD හාඩ් ඩිස්කය
  • Corsair Professional Gold Series 1500W බල සැපයුම

CPU-Z මෘදුකාංගය මගින් එම අවස්ථාවේදී ලබාගත් තිර රූපයක් පහත දැක්වේ...


0 comments:

ප්‍රොසෙසර යුද්ධය දැන් දරුණු අතට හැරෙන ලකුණු...

 
ප්‍රොසෙසර යුද්ධය ලෙසින් හැඳින්වෙන්නේ ප්‍රොසෙසර චිප් නිෂ්පාදනය කරන ප්‍රමුඛතම සමාගම් දෙක වන Intel හා AMD සමාගම් අතර ඇති වෙළඳපොල තරඟයටයි. පුද්ගල පරිගණක සඳහා මයික්‍රො ප්‍රොසෙසර නිපදවන ආයතන අතරින් නිතරඟයෙන්ම පළමු තැන හිමිව ඇත්තේ ඉන්ටෙල් සමාගම හටයි. නමුත් දැන් දැන් පෙනෙන්නට ඇති කරුණ වන්නේ මේ ක්ෂේත්‍රයේ කිරුළ හිමි ඉන්ටෙල් හට සිය මුල් තැන රැක ගැනීම සඳහා AMD සමාගම සමග තරඟ කරන්නට සිදුව ඇති බවයි. ඊට හේතුව වන්නේ මෑත කාලීනව AMD සමාගම ප්‍රොසෙසර නිර්මාණය අතින් ඉන්ටෙල් හා කරට කර යන තරමේ දියුණුවකට පැමිණ තිබීමයි.

මේ අවුරුද්දේ මුල් කාර්තුවේ දී AMD සමාගම තමන්ගේ නවතම සුපිරි ප්‍රොසෙසරය Ryzen (රයිසන්) නමින් නිකුත් කළ අතර, එ් වෙද්දී වෙළඳපොලට නිකුත් කර තිබුණු ඩෙස්ක්ටොප් වර්ගයේ කිසිදු ඉන්ටෙල් ප්‍රොසෙසරයකට Ryzen සමග තරඟ කළ නොහැකි විය. එතෙක් කල් සටනක් නැතිව රජ වූ ඉන්ටෙල් සමාගමට AMD සමාගම විසින් Ryzen ප්‍රොසෙසරය නිකුත් කිරීමත් සමග නැවතත් කිරුළ සඳහා තරඟ වදින්නට සිදුවිය. Ryzen ප්‍රොසෙසරය ඉතා අනර්ඝ තත්ත්වයේ ප්‍රොසෙසරයක් ලෙසින් ක්ෂේත්‍රයේ අගය කිරීමට ලක්වූ අතර, AMD නිෂ්පාදන නාමය කෙරෙහි තරමක අඩු අගයක පැවතුනු වෙළඳපොල පිළිගැනීම යලිත් වරක් ඉහළටම ඔසවා තබන්නට Ryzen සමත් වීම කැපී පෙනේ.


Ryzen හි සාර්ථකත්වයත් සමගම ඉන්ටෙල් සමාගම වහාම ක්‍රියාත්මක වන්නට විය. ඔවුන් විසින් Ryzen හා තරඟයට නවතම ප්‍රොසෙසර කාණ්ඩයක් ඉදිරිපත් කරන ලදී. පසුගිය මාසයේ නිකුත් කළ Intel Core X මාදිලියේ ප්‍රොසෙසර පෙළ සමගින් ඉන්ටෙල් සමාගම නැවතත් සිය මුල් තැන ලබා ගත් අයුරු අපට දක්නට ලැබිණි. කෙසේ වෙතත් මිළ අනුව සැසඳීමේදී නම්, නැතහොත් ගෙවන මිලට ලැබෙන අගය අනුව Core X වලට වඩා Ryzen ඉදිරියෙන් සිටින බව පෙනෙන්නට තිබේ.

AMD විසින් Ryzen නිකුත් කළ විට, ඒ හා තරඟයක් දෙන්නට Core X ප්‍රොසෙසර සූදානම් ව තිබීම ඉන්ටෙල් හි වාසියට වූ දෙයකි. එසේ නොවූවා නම්, Ryzen විසින් ප්‍රොසෙසර ක්ෂේත්‍රයේ සෑහෙන වෙනසක් සිදු කරන්නට තිබිණි. ඉන්ටෙල් සමාගම යාන්තම් ජාමෙ බේරාගත් බව මෙහිදී පැහැදිලිව පෙනෙන සත්‍යයකි. කෙසේ වුවත් AMD වෙතින් කරට කර සටනක් ලැබෙන නිසා දැන් ඉන්ටෙල් සමාගම සිය සැලසුම් වෙනස් කර ඇති බව පෙනෙන්නට තිබේ. ඊලඟ පරපුරේ core ප්‍රොසෙසර නිෂ්පාදනය සඳහා දැන් ඉන්ටෙල් සමාගම කටයුතු කරගෙන යන බව අසන්නට ලැබේ. මීලඟ දශකයේ එළි දකින නවතම උපාංග සඳහා පෙරළිකාර නව ප්‍රොසෙසරයක් ඉන්ටෙල් නාමය යටතේ එළි දැක්වීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

මේ අවස්ථාව වන විට බොහෝ කාලයකට පසු ප්‍රොසෙසර වෙළඳපොල යලිත් උණුසුම් ව තිබේ. මේ තරඟය පාරිභෝගිකයන් වශයෙන් අපට නම් ඉතා වාසිදායක බව නම් කිව යුතුය. ඉන්ටෙල් සමාගම විසින් පෙරළිකාර ප්‍රොසෙසරයක් නිපදවන්නට සැලසුම් කරද්දී, AMD සමාගම ඔවුන්ගේ Zen ආකෘතිය යටතේ වන දෙවැනි ප්‍රොසෙසර සංස්කරණය නිපදවමින් සිටී. මේ සියල්ල සැලකීමේදී ප්‍රොසෙසර ක්ෂේත්‍රයේ ඉදිරි කාලය ඉතා ආකර්ශණීය වනු ඇතැයි යන්න අපේ බලාපොරොත්තුවයි...

0 comments:

අන්තර්ජාල බ්‍රවුසර සටනේ ක්‍රෝම් තවමත් පෙරමුණේ...

රම්භයේ සිටම අන්තර්ජාල බ්‍රවුසර් අතර පෙරමුණේ සිටියේ මයික්‍රොසොෆ්ට් සමාගමේ මුල් කාලීන බ්‍රවුසරය වූ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් බ්‍රවුසරයයි. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සමග පැමිණි ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් බහුතරයකගේ එකම තේරීම විය. නමුත් කාලයත් සමග එක්ප්ලෝරර් බ්‍රවුසරයට තරඟකරුවන් බිහිවිය. නෙට්ස්කේප් නැවිගේටර්, සෆාරි හා ෆයර්ෆොක්ස් යනු එසේ තරඟ කළ මුල් කාලීන බ්‍රවුසර කීපයකි.

කෙසේ වුවත් ගූගල් සමාගම විසින් ක්‍රෝම් බ්‍රවුසරය හඳුන්වා දීමෙන් පසු එය දිනෙන් දිනම ජනප්‍රිය වන්නට පටන් ගත් අතර ස්වල්ප කාලයකින්ම ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් අභිභවා යමින්, අන්තර්ජාල බ්‍රවුසර යුද්ධයෙන් ජය ලබන්නට සමත් විය. එදා සිට අද දක්වාම ක්‍රෝම් හි කිරුළට අභියෝග කරන්නට කිසිදු බ්‍රවුසරයකට හැකිවී නැත.


පසුගියදා නිකුත් වූ නවතම අන්තර්ජාල සමීක්ෂණ වාර්තා අනුව අන්තර්ජාල බ්‍රවුසර භාවිතාවයෙන් 60% ක් අයත් වන්නේ ක්‍රෝම් බ්‍රවුසරයට යි. පුද්ගලික පරිගණක (PC) වලින් 90 කටත් වඩා භාවිතා කරන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය වුවත්, මයික්‍රොසොෆ්ට්  හි එජ් (Edge) බ්‍රවුසරයට හිමිව ඇත්තේ 5% ක භාවිත ප්‍රතිශතයක් පමණි. නමුත් මයික්‍රොසොෆ්ට් හි පැරණි බ්‍රවුසරය වන ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් දෙවැනි තැන පසුවන්නේ 16% ක භාවිත ප්‍රතිශතයක් හිමි කර ගනිමිනි...

0 comments: